Gossips

පුත්තලමේ පෙර පාසල් සිසුන් 1400ක්, ගිනි අව්වේ

පුත්තලම නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු ඇතැම් නිලධාරීන් දුරදිග නොබලා ක්‍රියා කිරීම හේතුවෙන් අද පෙර පාසල් දරු දැරියන් 1400 ක් පමණ දැඩි පීඩාවට පත්වුණා.
දරුවන්ගේ කුසලතා නඟා සිටුවීමට බව පවසමින් නගර සභා නිලධාරීන් සංවිධාන කළ උත්සවයකදී දරු දැරියන්ට සිදුවූයේ පැය 03 කට ආසන්න කාලයක් දැඩි අව් රශ්මියේ පීඩා විඳීමටයි.
පුත්තලම නගරාධිපති කේ.ඒ.බායිස්ගේ උපදෙස් මත සංවිධාන කර තිබූ මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ වයඹ පළාත් ආණ්ඩුකාර කේ.සී.ලෝගේස්වරන්.
ඊට පුත්තලම දිස්ත්‍රික්කයේ පෙර පාසල් දරුවන් 1400 ක් ඇතුළුව 8,000 කට අධික පිරිසක් මෙම උත්සවයට කැඳවා තිබුණා.
පුත්තලම කලපුව ආශ්‍රිත වෙරළ තීරයේ මෙම උත්සවය සංවිධාන කර තිබූ අතර, සම්භාවනීය අමුත්තන් සඳහා තාවකාලික ආවරණ ඉදිකර තිබුණේ දැඩි අව් රශ්මියෙන් මිදීම සඳහායී.
ඔවුන්ට එලෙස සැලකුවද, හය හතර නොදත් කුඩා පෙර පාසල් දරුවන් කිසිදු ආවරණයක් නොමැතිව දැඩි අව් රශ්මියෙන් පීඩා විඳි ආකාරය දැක ගන්නට ලැබුණා.
පෙරවරු නවයේ සිට දහවල් 12 දක්වා කාලය මෙම උත්සවය සඳහා වෙන්කර තිබීමෙන් දැඩි අව් රශ්මියත්, වැලි පොලව රත්වීමත් හේතුවෙන් දරු දැරියන් පීඩාවට පත්වුණා.
පැය ගණනාවක් බිම වාඩි වී දැඩි පීඩාවෙන් සිටි දරුවන් ගුරුවරුන්ගේ හා දෙමව්පියන්ගේ අවවාද ද නොතකා නැගී සිටීමට උත්සාහ කළ විට එහි සිටි ආරක්ෂක නිලධාරීන් ඔවුන් නැවතත් වාඩි කිරීමට උත්සාහ ගත්තා.
ලණු ආවරණ ඉවත් කර ප්‍රධාන වේදිකාව අසලට යාමට දරුවන් හා දෙමව්පියන් සැරසෙද්දී ඊටද නිලධාරීන් ඉඩ ලබාදුන්නේ නැහැ.
දේශපාලනඥයින් තම ප්‍රතිරූපය නංවා ගැනීම සඳහා සිඟිති දරු දැරියන් මෙලෙස පීඩාවට පත් කිරීම කෙතරම් සාධාරණද ?