Gossips

පුංචි ඡන්දයේ සමස්ථ පැමිණිලි සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරිම්

2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ කාලසීමාව තුළදී සමස්ත පැමිණිලි සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරිම් 1148ක් වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා.
ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස 668ක් වන ඉන් අතර 85 දෙනෙකුම අපේක්ෂකයින්.
පළාත් පාලන ඡන්ද විමසීමෙන් අනතුරුව ප්‍රචණ්ඩක්‍රියා රැසක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූණා.
තිස්සමහරාමය අකුරගොඩ ප්‍රදේශයේදී පොදුජන පෙරමුණේ පාක්ෂිකයින් පිරිසක් ජයග්‍රහණය සමරමින් සිටියදී එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් පැමිණ සිදු කළ බව කියන පහරදීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිස්සමහාරාමය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කැපුම් තුවාල ලැබූ ඔවුන්ගෙන් එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්වීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ලුණුගම්වෙහෙර සියමිතුරුගම ප්‍රදේශයේ නිවසකට පහරදී අලාභහානි සිදු කර තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජයග්‍රහණය සැමරීම සඳහා පෙළිපාලියකින් ගමන් කරමින් සිටි පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාවලපිටිය ආසන සංවිධායක මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එච්.ඒ රණසිංහ මහතාගේ නිවසට ගොස් පහරදීමක් සිදු කළ බවට චෝදනා එල්ල වනවා.
සිද්ධියෙන් රණසිංහ මහතාගේ පුතුන් දෙදෙනා තුවාල ලබා ගම්පොළ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකන් දෙදෙනෙක්.
අක්කරේපත්තුව බදුර්නගර් ප්‍රදේශයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ පිරිසක් ජාතික කොන්ග්‍රසයේ පිරිසකට පහර දීමට විරෝධය පළ කරමින් සහ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් ඊයේ රාත්‍රියේ අක්කරේපත්තුව පොලීසිය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වුණා.
ලංකා කම්කරු කොංග්‍රසය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වීමෙන් අනතුරුව කම්කරු කොංග්‍රහසේ නායක ආරුම්ගම් තොණ්ඩමන් මහතා සහ සී.බී රත්නායක මන්ත්‍රීවරයා ආධාරකරුවෙකුගේ නිවසට යාම වැලක්වීම සඳහා එම මාර්ගය පිරිසක් වාහනයක් යොදා අවහිර කර තිබූ අතර පසුව පොලීසය මැදිහත්ව එය ඉවත් කරනු ලැබුවා.
මේ අතර බෙලිඅත්ත සිටිනාමළුව ප්‍ර දේශයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබා දුන් පුද්ගලයෙකුට එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයෙකු පහර දී ඇත්තේ එම පෙරමුණට ඡන්දය ලබා දීමට විරෝධය පළ කරමින්.
තංගල්ල විතාරන්දෙණිය දැදිගම ප්‍ර දේශයේදීද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයෙකුට එක්සත් ජාතික පක්ෂ අපෙක්ෂකයෙකු පහර දීමේ සිද්ධියක් වාර්තා වනවා.
හික්කඩුව මලවැන්න දකුණ ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයෙකුගේ නිවසට පැමිණ බැණ තර්ජනය කර පහරදීමේ පුවතක් වාර්තාවනවා.
මීටියාගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
කුරුණෑගල මහනගර සභාවට තරග වැදුණු ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ බිරිද ම්කඩුවාව සැනසුම ප්‍රජාශාලවේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානය තුලට බලහත්කාරයෙන් ඇතුළු වී ඡන්ද අක්‍රමිකතා සිදුකළ බවට චෝදනා කරමින් සෙසු පක්ෂවල අපේක්ෂකයින් ඊයේ විරෝධතාවක නිරත වුවත් ඇය එම චෝදනා ප්‍රතික්ෂේප කළා.
මේ අතර, ඡන්දය පැවති කාලසීමාව තුළදී සිද්ධි කිහිපයක් වාර්තා වුවද දිවයින පුරා සමස්තයක් ලෙස සාමකාමීව ඡන්ද විමසීම අවසන් කිරීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවා.
පොලිස් අධිකාරී රුවන් ගුණසේකර-පොලිස් මාධ්‍ය ප්‍රකාශක
– පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඉතාමත්ම සාමකාමී පරිසරයක් තුළ සාමකාමීව අවසන් කිරීමට හැකියාව ලැබුණා. පූර්ව සහ මැතිවරණ දිනය සහ පශ්චාත් දිනය සමස්ත පැමිණිළි 869 ලැබී තිබෙනවා.මේ පැමිණිළි 869ට අදාළව සැකකරුවන් 162ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා.සැකකරුවන් 162 තුළ ඉන්නවා අපේකෂකයින් 37 දෙනෙක්.මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සමස්ත කාලයටම අදාළව 279ක් වෙනවා.මේ 279ට අදාළව 506ක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා.මේ සැකකරුවන් 506 තුළ ඉන්නවා අපේකෂකයින් 48ක්.ඒ අනූව සමස්ත කාලයටම අදාළව පැමිණිලි හා වැටලීම් වලදී අත්අඩංගුවට ගත් සම්පූර්ණ සැකකරුවන් ගණන 668ක්.මේ සැකකරුවන් තුළ අපේක්ෂකයින් 85ක් ඉන්නවා.