Gossips

පුංචි ඡන්දයේ ගැටුම් තවමත්

එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් අතර දඹුල්ල නගරයේ ඇතිවූ ගැටුමකදී තියුණු ආයුධයකින් පහරදීමෙන් නාගරික මන්ත්‍රීවරියකගේ ස්වාමි පුරුෂයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
දඹුල්ල රෝහලට ඇතුලත් කළ මොහු පසුව මහනුවර මහ රෝහලට මාරුකර යවා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
දඹුල්ල මහ නගර සභාව සඳහා තේරීපත් වූ එක්සත් ජාතික පක්ෂ සභිකයන් දිවුරුම් දීමේ උත්සවය අද (29) පැවැත්වීමට නියමිතව තිබූ අතර ඊට දඹුල්ල නගරයේ සැරසිලි කරමින් සිටින අතරතුර මෙම ගැටුම ඇතිව තිබෙන බවයි පොලිසිය සඳහන් කළේ.
මහ නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත්වූ නාගරික මන්ත්‍රීවරියක වන සුමුදු ෂෙරීල්ගේ ස්වාමි පුරුෂයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවෙකු අතර ඊයේ (28) රාත්‍රියේ මෙම ගැටුම හටගෙන ඇති අතර එහිදී මෙම පහරදීම සිදුව තිබෙනවා.
සිද්ධියෙන් තුවාල ලැබූ නාගරික මන්ත්‍රීවරියගේ ස්වාමි පුරුෂයා දඹුල්ල මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී රෝගීන් ඇතුලත් කර ගැනීමට ප්‍රමාදවීම හේතුවෙන් ඔහුගේ ආධාරකරුවන් දෙදෙනෙකු රෝහලේ කනිෂ්ඨ සේවකයින් දෙදෙනෙකුටද පහරදී ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් දෙදෙනාද රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඊට විරෝධය පළ කරමින් අද (29) උදෑසන රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සේවයෙන් බැහැර වී තිබුණා.
පහර දීමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමෙන් පසු නැවතත් කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවයට වාර්තාකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම ඊයේ (28) රාත්‍රියේ සිදුවූ මෙම ගැටුමට සම්බන්ධ අදාළ පොදුජන පෙරමුණු ආධාරකරු ද පහර දීමට යොදාගත් ආයුධයත් සමග පොලිසිය අත්අඩංගුවට තිබෙනවා.
මේ අතර හැටන් – නෝර්වුඩ් – අයිරබි මංසන්ධිය ආසන්නයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා දික්ඔය සහ නාවලපිටිය රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.
නෝර්වුඩ් පොලීසිය සඳහන් කළේ කම්කරු ජාතික පෙරමුණේ නායක අමාත්‍ය පලනි දිගම්බරම්ගේ සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන්ගේ ආධාරකරුවන් පිරිසක් අතර ඊයේ(28) රාත්‍රියේ මෙම ගැටුම ඇතිවී ඇති බවයි.
සිද්ධියෙන් මෝටර් රථයකට සහ ජිප් රථයකටද අලාභහානි සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා ඊයේ (28) රැස්වූ අවස්ථාවේදීද අමාත්‍ය පලනි දිගම්බරම්ගේ සහ හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ ආධාරකරුවන් අතර ගැටුමක් ඇතිවුණා.