Politics Sri Lanka

පුංචි ආණ්ඩු පත්වීමේ නීතිමය තත්ත්වය ගැන අමාත්‍යාංශය කියන්නේ මෙහෙමයි

පුංචි ආණ්ඩු පත්වීමේ නීතිමය තත්ත්වය ගැන අමාත්‍යාංශය කියන්නේ මෙහෙමයි

2018 පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව පළාත් පාලන ආයතනවල ධූර කාලය ආරම්භ වීම සහ මැතිවරණයෙන් තේරී පත් වූ අපේක්ෂකයන් සම්බන්ධ නීතිමය තත්ත්වය පිළිබඳ පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර තිබේ.

එම නිවේදනය පහත පරිදි වේ.

2016 අංක 16 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 65 ආ වගන්තිය සහ 66 වගන්තිය දක්වන පරිදි පළාත් පාලන ආයතනයේ සභිකයන් වශයෙන් තෝරා පත්කර ගනු ලැබූ සහ තෝරා යවනු ලබන අපේක්ෂකයන්ගේ නම් නිශ්චිතව සඳහන් කරනු ලබන දැන්වීමක් පළකළ යුතු අතර, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් එකී නම්, වහාම ගැසට් පත්‍රයේ පළ කළ යුතුය.

පළාත් පාලන ආයතනවල සභිකයන්ගේ ධූර කාලය ආරම්භ වීම.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයන් මගින් පළාත් පාලන ආයතනවල සභිකයන්ගේ ධූර කාලය 2018.03.06 වැනි දින සිට ආරම්භ විය යුතු බවට නියම කර ඇත. ඉහත වගන්තීන් යටතේ මැතිවරණ කොමිෂන් සභාව විසින් තෝරා පත්කර ගනු ලැබූ සභිකයන් පිළිබඳ ප්‍රසිද්ධියට පත් කිරීමෙන් අනතුරුව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ නියමය පරිදි නිකුත් කරන ගැසට් නිවේදනයක් මගින් 2018.03.06 වැනි දින සිට එ් ඒ සභාවල සභිකයන්ගේ ධූර කාලය ආරම්භ වන බව නිවේදනය කරනු ලැබේ.

සභාපතිවරයා / නගරාධිපතිවරයා පත් කිරීම

මෙහිදී යම් පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් යම් පළාත් පාලන ආයතන ආසන සංඛ්‍යාවෙන් 50%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් ලබාගෙන ඇති අවස්ථාවකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් අදාළ දේශපාලන පක්ෂයේ ලේකම්වරයාගෙන් හෝ ස්වාධීන කණ්ඩායම් නායකයාගෙන් එම පිළිගත් දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ තේරී පත් වූ සභිකයන් අතරින් සභාපති / උපසභාපති, නගරාධිපති / නියෝජ්‍ය නගරාධිපති නිශ්චය කරන ලෙස ඉල්ලා සිටිය යුතුයි.

යම්කිසි පළාත් පාලන ආයතනයක සමස්ත ආසන සංඛ්‍යාවෙන් 50%කට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් පිළිගත් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ලබාගැනීමට අසමත්ව ඇති අවස්ථාවකදී, එම පළාත් පාලන ආයතනයේ පළමු රැස්වීමේදී නගරාධිපතිවරයා හෝ නියෝජ්‍ය නගරාධිපතිවරයා සභිකයන්ගේ ඡන්දයෙන් තෝරා පත් කරගත යුතුය. මෙම රැස්වීමේහි මුලසුන පළාතේ පළාත් පාලන කොමසාරිස්වරයා විසින් දැරිය යුතුය.

සභාපති / නගරාධිපති පත් කරගැනීමේ ක්‍රමවේදය.

පළාත් පාලන කොමසාරිස්වරයා විසින් මුලසුන දරන රැස්වීමේදී සභිකයන්ට ඡන්දයෙන් සභාපතිවරයා තෝරා පත් කර ගැනිමේ බලය හිමි වේ.

මෙහිදී ඡන්දයේ ස්වාභාවය (රහස් ඡන්දයක්ද / විවෘත ඡන්දයක්ද යන්න) සභිකයන් තීරණය කළ යුතුය.

සභිකයන් මුළු සංඛ්‍යාව නොසිටීම.

තවද නියමිත සම්පූර්ණ සභික සංඛ්‍යාව යථා පරිදි තෝරා පත් කරගෙන නොමැති අවස්ථාවකදී වුවද, අමාත්‍යවරයා විසින් ගැසට් පත්‍රෙය් පළ කරනු ලබන නියමයක් මගින් සභාවක ධූර කාලය ආරම්භ කරනු ලබන බවට ප්‍රකාශ කරනු ලබන දිනක සිට, සභාව සංස්ථාපනය කරනු ලැබීමට හැකිවනු පිණිස පළාත් පාලන ආයතන ප්‍රධාන අණ පනත්වල නෛතිකමය ප්‍රතිපාදන සැළසී ඇති බැවින් මැතිවරණ කොමසාරිස් විසින් තෝරාගත් සභිකයන් පිළිබඳ ප්‍රසිද්ධියට පත් කිරිමත් සමගම සභාවල ධූර කාලය ආරම්භ වීමට බාධාවක් නොමැත.

පක්ෂ මාරු කිරීමට ඇති ඉඩකඩ නොමැති වීම.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 10 අ වැනි වගන්තිය පරිදි කිසියම් පක්ෂ ලේකම්වරයෙකු විසින් තම පක්ෂයෙන් තේරී පත් වී ඇති සභිකයෙකු පක්ෂයේ සාමාජිකයෙකුව සිටීම අවසන්ව ඇති බව දිස්ත්‍රික් ඡන්ද විමසීම් නිලධාරියා ඒ බවට සෑහීමට පත් වෙන අවස්ථාවකදී ඒ තැනැත්තා සිය සභික ධූරය අවසන් කර ඇති බවට ප්‍රකාශයට පත් කිරීමේ හැකියාව ඇත. එබැවින් පළාත් පලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ මෙම ප්‍රතිපාදනය පක්ෂ මාරු වීම නවතා දැමීමට ප්‍රතිපාදන සලසයි.

කාන්තා නියෝජනය

පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය පිළිබඳ මේ වනවිට විවිධ තොරතුරු සාකච්ඡා වන අතර, ඒ පිළිබඳ අමාත්‍යාංශයේ ස්ථාවරය පහත පරිදි වේ.

2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 262 වැනි අධිකාරය වූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත සහ එහි මෙතෙක් සිදු කරන ලද සංශෝධන පදනම් කරගෙන පවත්වන ලද ඡන්ද විමසීමක් වන බැවින් එකී නීතිය යටතේ ඒ ඒ පළාත් පාලන ආයතන වෙත තේරී පත් වීමේ නෛතිකමය අපේක්ෂාවක් සහිතව අපේක්ෂකයන්ගේ නාමයෝජනා ඉදිරිපත් කර ඇත.

2018 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ වන සේ එකී පනතෙහි සංශෝදන අතීතයට බලපාන පරිදි සිදු කිරීමට නෛතිකමය බධාවක් පැන නගින බැවින් සභිකයන් තෝරා පත් කර ගැනීම සහ තෝරා යැවීමට අදාළ යම් ප්‍රායෝගික ගැටලු උද්ගත වේ නම් මින් ඉදිරියට පැවැත්වෙන පළාත් පාලන ඡන්දයකදී ඒවා නිවැරදි කර ගැනීමේ හැකියාවක් මිස පැවති ඡන්දය සඳහා අදාළ වන සේ එකී සංශෝධන සිදුකළ නොහැකි බව අමාත්‍යාංශය නිරීක්ෂණය කර ඇත.

මෙකී කරුණු සැලකිල්ලට ගෙන මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධව දැනට පවත්නා නීතිය අදාළ කර ගැනීම සුදුසු බව වැඩිදුරටත් නිරීක්ෂණය වී ඇත.

මේ සම්බන්ධව ගරු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පවත්වන ලද පක්ෂ නායක රැස්වීමේ ගනු ලැබූ තීරණයක් පරිදි පවත්නා නිතිය එලෙසම ක්‍රියාත්මක කිරීමටත්, එහිදී යම් ගැටලු සහගත තත්ත්වයක් උද්ගතවී ඇත්නම් සහ අනාගතයේ දී ඒ පිළිබඳ අධිකරණය විසින් යම් තීරණයක් ගනු ලැබුවහොත් එකී තිරණ මත ඉදිරි පියවර ගැනීම සුදුසු බවටත් සාකච්ඡා වූ අතර, ඒ අනුව, ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍යාංශයට සහ මැතිවරණ කොමිෂන් සභාව වෙත උපදෙස් ලබා දී ඇත.