Gossips

පීඩාවට පත්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව – කැළණි, කළු, ගිං සහ මාඔයේ ජල මට්ටම් යළි ඉහළට (ඡායාරූප)

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 12ක පවුල් 10,000කට අයත් පුද්ගලයින් 38,000කට වැඩි පිරිසක් පීඩාවට පත්වී සිටිනවා.
එමෙන්ම, අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 08 දෙනෙකු මිය ගොස් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
මේ අතර, කළුතර, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට තවදුරටත් නාය යාමේ අවදානම බලාත්මක කර තිබෙනවා.
එමෙන්ම කැළණි, කළු, ගිං යන ගංඟා මෙන්ම මාඔයේ ද ජල මට්ටම යළි ඉහළ යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඊයේ (21) දින ඉහළ ගොස් තිබූ නිල්වලා ගඟේ සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් මේ වන විට පහත බසිමින් පවතින බව එම දෙපාර්තමේන්තුව තවදුරටත් කියා සිටියා.
කෙසේ වෙතත්, දින කිහිපයක් යන තුරු ජලාශ පරිහරණය කිරීමෙන් වළකින ලෙසටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
මීට අමතරව පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 07 තවමත් විවෘතව පවතින අතර, එමගින් පිටවන ජලය මහවැලි ගඟට නිකුත් කෙරෙන බැවින් ඒ පිළිබදව විමසිල්ලෙන් පසුවිය යුතු බවටයි මහවැලි අධිකාරිය සඳහන් කළේ.
එමෙන්ම ඉහළ කොත්මලේ සහ ලක්ෂපාන ජලාශයේ විවෘත කර තිබූ වාන් දොරටු මේ වනවිට වසා දමා තිබෙනවා.
කෙසේ වෙතත්, දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 08ම තවමත් අඩිය බැගින් විවෘතව පවතින අතර, මේ හේතුව නිසා පුත්තලම සහ ආනමඩුව ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
එම ප්‍රදේශවල කුඩා වැව් සියල්ලම ඊයේ (21) රාත්‍රිය වන විට වාන් දමමින් පැවතියා.
කඩුපිටිඔය පිටාර ගැලීම නිසා හලාවත – කොළඹ මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වී තිබෙනවා.
එමෙන්ම රතඹලාඔය පිටාර ගැලීමත් සමඟ සේරුකැළේ සහ මදවක්කුලම යන ගම්මානවල පහත්බිම් රැසක් ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.
කලාඔයේ ජල මට්ටම ද ඉහළ යාම නිසා පුත්තලම – මන්නාරම පැරණි මාර්ගයේ ගමනාගමන කටයුතු අඩාල වී තිබෙනවා.
එමෙන්ම හැමිල්ටන් ඇල පිටාර ගැලීමත් සමඟ පුත්තලම – කොළඹ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය ලුණුවිල දුම්රිය ස්ථානය දක්වා සීමා කර ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.
පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයින් රැසක් ජල ගැලීම් හේතුවෙන් ස්ථාන කිහිපයක කොටු වී සිටින බවටද වාර්තා වනවා.
නාන්තණ්ඩිය – තුන්මෝදර ප්‍රදේශයේ කොටු වී සිටි පවුල් 16ක් නාවික හමුදාව විසින් බේරා ගනු ලැබුවා.
මේ අතර, වර්ෂාවෙන් රත්නපුර දිස්ත්‍රික්කයට ද දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.
ඇහැළියගොඩ, කුරුවිට, කිරිඇල්ල, ඇලපාත සහ කලවාන ප්‍රදේශවල පහත්බිම් රැසක් ජලයෙන් යට වී ඇති බවටයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
ඊයේ (21) රාත්‍රියේදී අදාළ ප්‍රදේශවලට විදුලිය විසන්ධි කරනු ලැබුවේ සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහායි.
ජල ගැලීම් හේතුවෙන් රත්නපුර – කලවාන ප්‍රදේශයේ කොටුවී සිටි ගැබිණි මව්වරුන් 09 දෙනෙකු ඇතුළු එකසිය හැත්තෑ දෙදෙනෙකු නාවික හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් එක්ව ඊයේ බේරා ගැනුණේ සිදුකළ මෙහෙයුම්වලින් අනතුරුවයි.
එම මව්වරුන්ගෙන් 06 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර සඳහා කලවාන රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රත්නපුර අප වාර්තාකරු ධනේෂ් පෙරේරා කියා සිටියේ මේ වන විටත් එම ප්‍රදේශයට වැසි ඇද හැලෙමින් පවතින බවයි.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර, නිවිතිගල සහ දෙහි ඕවිට අධ්‍යාපන කලාපවල සියළුම පාසල්වලට ඊයේ (21) සහ අද (22) යන දෙදින නිවාඩු ලබාදුන්නා.
මීට අමතරව ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල ද ඇතැම් ප්‍රදේශ තවමත් සුළු වශයෙන් ජලයෙන් යට වී පවතිනවා.
ගාල්ල දිස්ත්‍රික්කයේ කුරුපනාව, නාගොඩ සහ බුදපනාගම ප්‍රදේශවල මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස, පානදුගම යන ප්‍රදේශවල පහත්බිම් රැසක් මේ වනවිට ජලයෙන් යට වී පවතිනවා.
කළුතර දිස්ත්‍රික්කයේ ජලයෙන් යටවූ පහත්බිම්වල ජලය බැස යමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ජල ගැලීම් සහ විවිධ ආපදා හේතුවෙන් විපතට පත් පුද්ගලයන් මුදා ගැනීම සඳහා නාවික හමුදාව, යුද හමුදාව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් එක්ව මේ වන විට විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු කියා සිටියේ රත්නපුර, කළුතර යන දිස්ත්‍රික්කවලට තවත් අතිරේක බල ඇණි කිහිපයක් යෙදවීමට කටයුතු කළ බවයි.
එමෙන්ම ජල ගැලීම් සහ ආපදා තත්ත්වයන් පිළිබද සොයා බැලීම සඳහා ගුවන් හමුදාවට අයත් බීච් ක්‍රාෆ්ට් ගුවන් යානයක් එම ප්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක අද උදෑසන යෙදවීමට පියවර ගත්තා.
වර්ෂාවත් සමඟ පස් කඳු සහ ගල් පෙරලීම් හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ග අවහිරතා පිළිබඳව තොරතුරු වාර්තා වනවා.
පස් කඳු කඩාවැටීම් හේතුවෙන් අවහිර වූ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු එක් මංතීරුවකට පමණක් සීමා කර තිබෙනවා.
මීට අමතරව බියගම – මල්වාන, බණ්ඩාරවත්ත, මාපිටිගම යන ප්‍රදේශ කැළණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් මාර්ග අංක 226 මාර්ගය සහ කැළණිය – බියගම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.
එමෙන්ම අධික වර්ෂාවත් සමඟ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුවෙන් වාහන පිටවීම නතර කර තිබෙනවා.
ඒ, බියගම මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටවීමත් සමඟයි.
මේ හේතුවෙන් කඩවත සිට පැමිණෙන වාහන අතුරුගිරිය හුවමාරුවෙන් මෙන්ම මාතර සහ ගාල්ලේ සිට පැමිණෙන වාහන කොතලාවල අන්තර් හුවමාරුවෙන් පිටවන ලෙසයි මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙන්නේ.
මාතර – අකුරැස්ස, ගාල්ල, කළුතර සහ ගම්පහ යන ප්‍රදේශවලද ඊයේ ඇතිවූ වර්ෂාපතනයත් සමඟ මාර්ග අවහිරතා ඇති වුණා.
එමෙන්ම හලාවත – කොළඹ මාර්ගය, මාදම්පේ සහ මහවැව යන ප්‍රදේශවලින් තවමත් ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
රතඹලාඔය පිටාර ගැලීම නිසා ආනමඩුව – හලාවත මාර්ගයේ ඇතැම් ස්ථාන ද මේ වන විට ජලයෙන් යටව පවතිනවා.