Gossips

පීඩන අවපාතයේ බලපෑමෙන්, වයඹ, මධ්‍යම, බස්නාහිර සහ දකුණට තද වැසි – දිස්ත්‍රික්ක 4කට නාය යාම් අවදානම්

බෙංගාලබොක්ක අවට පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට වර්ධනය වීම හේතුවෙන් තවදුරටත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම වැසි තත්ත්වය අනිද්දා දිනය දක්වා පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 48,000 දෙනෙකුට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින අතර, මේ දක්වා වාර්තා වූ ආපදා මරණ සංඛ්‍යාව 9ක්.
මේ වන විටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින්නේ වැසිබර කාලගුණයක්.
එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයට ද පවතින අධික වර්ෂාව හේතුවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.
බද්දේගම ප්‍රදේශයේ පහත්බිම් රැසක් මේ වන විටත් ජලයෙන් යට වී ඇති බවයි හිරු ප්‍රාදේශීය වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල් කියා සිටියේ.
මේ අතර, කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය, පාලින්ද නුවර සහ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට ද පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් බලපෑම් එල්ල වී තිබෙනවා.
එමෙන්ම නෝර්වුඩ් කාසල්රී ජලාශයට ඉහළින් පිහිටි නිවාස 5ක් නාය යාමේ අවදානමකට ලක්වීම හේතුවෙන් පවුල් 5කට අයත් සාමාජිකයින් 23 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවයි හැටන් හිරු ප්‍රාදේශීය වාර්තාකරු රංජිත් රාජපක්ෂ කියා සිටියේ.
පවතින අධික වර්ෂාවත් සමඟ කළු ගඟේ මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගං වතුර තත්ත්වයක් පවතින අතර, ගිං ගඟේ බද්දේගම ප්‍රදේශයෙන් ද සුළු ගං වතුර තත්ත්වයක් වාර්තා වනවා.
මේ අතර, රාජාංගණය, පොල්ගොල්ල, ලක්ෂපාන සහ දැදුරුඔය යන ජලාශවල වාන් දොරටු ද මේ වන විට විවෘත කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ.
මේ අතර, පවතින අධික වර්ෂාවත් සමඟ රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන සහ අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට පසුගිය පැය 24 තුළ ලැබුණු අධික වර්ෂාපතනයත් සමඟයි මෙලෙස නාය යාමේ අවදානමක් පැන නැගී ඇත්තේ.
එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, බුලත්සිංහල, අගලවත්ත, මතුගම, බදුරලිය සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට මෙලෙස නාය යාමේ අවදානමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මීට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රදේශයට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලුව, තවලම, ඇල්පිටිය, නියාගම, නාගොඩ, යක්කලමුල්ල සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට ද මෙම නාය යාමේ අවදානමක් පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියා සිටියේ.
මේ අතර අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උපදෙස් ලබාදී තිබෙනවා.
සීෂෙල්ස් රාජ්‍යයේ දෙදින නිළ සංචාරයකට ගොස් සිටින ජනාධිපතිවරයා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායකට දුරකථන ඇමතුමකින් උපදෙස් ලබාදී ඇත්තේ සහන සැලසීමේදී මූල්‍ය ප්‍රතිපාදන ගැටළුවක් කර නොගන්නා ලෙසයි.
වියළි ආහාර ද්‍රව්‍ය, පානීය ජලය සහ සෞඛ්‍ය පහසුකම් විපතට පත් ජනතාවට අඛණ්ඩව ලබාදෙන ලෙසට ද එහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.
එමෙන්ම ජල ගැල්මෙන් විපතට පත්වූවන් මුදා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගැනීමට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන වෙත ද උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.