Gossips

පිලිපීන චන්ඩ මාරුතයෙන් දැඩි හානි – ඇමරිකාවට තවමත් ගං වතුර

වසරේ ප්‍රබලතම චන්ඩ මාරුතය මැන්කුට් හි බලපෑමෙන් පිලිපීනයේ ප්‍රධාන දිවයිනේ විශාල හානියක් වාර්තාවනවා.
අවම වශයෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එහි මාර්ග අවහිරවී විදුලි සහ සන්නිවේදන මාර්ග බිඳ වැටී වගා හානිද සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙම සුපිරි සුළි සුළඟ සමඟ කිලෝමීටර 900 ක පථයක් හරහා දැඩි සුළං මෙන්ම වර්ෂාපතනයක් ඇති කළ අතර, එය දැන් චීනය වෙත යොමුවී තිබෙනවා.
සුළි සුළඟින් සිදුවූ සම්පූර්ණ හානිය මෙතෙක් ගණනය කර නැහැ.
සුළිසුළං පථයේ මිලියන 5 කට අධික පිලිපීන වැසියන් සිටින අතර, ඉන් ලක්ෂයකට අධික පිරිසක් ආරක්ෂිත කඳවුරුවල රැඳී සිටිනවා.
මැන්කුට් සුළි සුළඟ හේතුවෙන් හොංකොං ගුවන් තොටුපලේ ගුවන් ගමන්වලට සති අන්තයේ දැඩි බලපෑමක් ඇතිවිය හැකි බව ගුවන් සේවාවන් ප්‍රකාශ කළා.
මේ අතර ඇමරිකාවේ නැගෙනහිර වෙරළට හමා ආ ෆ්ලෝරන්ස් සුළි සුළඟ හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එහි ජල ගැලීම් තත්ත්වය තවදුරටත් උත්සන්න වෙමින් පවතින බව වාර්තාවනවා.
එහි ගංඟා පිටාර ගලා මාර්ග ජලයෙන් යටවී ඇති අතර, නිවාස මිලියනයකට පමණ විදුලිබලය ඇණහිට තිබෙනවා.
ජල ගැලීම් තත්ත්වය තවත් දින කිහිපයක් පවතිනු ඇති බවයි ඇමරිකානු කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කළේ.