Gossips

පිපෙන්නට පෙර මිලින වූ මල් කැකුළ

වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල හේතුවෙන් හම්බන්තොට මහ රෝහලට තම කුළුඳුල් දරු ප්‍රසූතිය සදහා ඇතුලත් කළ මවකට තම දරුවා අහිමි වු බව කියන පුවතක් වාර්තා වනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාල කාන්තාවගේ ඥාතීන් හමබන්තොට පොලිසියට හා රෝහල් අධ්‍යක්ෂවරයාට පැමිණිලි කර තිබෙනවා.
32 හැවිරිදි වියේ පසුවන කුමාරි මධුෂිකා අම්බලන්තොට කුඩා බෝලාන ප්‍රදේශයේ පදිංචිකාරියක්.
ඇය ගැබිණියක්වීමත් සමග හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සේවය ලබාගෙන ඇත්තේ පෞද්ගලික චැනල් සේවය හරහායි.
එම වෛද්‍යවරයාගේ උපදෙස් මත මධුෂිකාව දරු ප්‍රසුතිය සදහා පසුගිය 05 වැනිදා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
කෙසේ වෙතත් ඇගේ ඥාතීන් චෝදනා කරන්නේ එදින සිට අද උදෑසන දක්වාම මෙම රෝහලේ රාජකාරීයේ නිරත අදාළ වෛද්‍යවරයා ඇයව පරීක්ෂා කිරීමට හෝ නොපැමිණි බවයි.
අද උදෑසන මධුෂිකා තම දරුවා බිහි කළත්, ඒ වනවිටත් එම දරුවා මියගොස් සිටියා.
තම දරුවා අහිමි වීමෙන් දැඩි කම්පනයෙන් පසුවන ඇය මේ වනවිටත් රෝහලේ ප්‍රතිකාර ලබනවා.
වෛද්‍යවරයාගේ නොසැලකිල්ල මත මෙම මරණය සිදුවු බවත් ඒ පිළිබද පරීක්ෂණයක් සිදුකරන ලෙසත් දරුවාගේ පියා විසින් හම්බන්තොට පොලිසියට හා රෝහල් අධ්‍යක්ෂවරයාට පැමිණිලි කර තිබෙනවා.