Gossips

පිදුරංගල ඡායාරූපවල දෙදෙනෙකු හඳුනාගැනේ – පොලිස් පරීක්ෂණ ඇරඹේ

ඓතිහාසික පිදුරංගල පර්වත මුදුනේ සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන ෆේස්බුක් සමාජජාලයට මුදා හැරි තරුණයන්ගෙන්, දෙදෙනෙකුගේ අනන්‍යතාවය පුරාවිද්‍යා නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබෙනවා.
ඒ අනුව පොලිසිය සමඟ එක්ව ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සීගිරිය කලාප භාර අධ්‍යක්ෂ ජී. නීලප්‍රේම හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර අදාළ සිදුවීමට අදාළ ඡායාරූප අන්තර්ජාලයට මුදාහල පුද්ගලයන් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.
සිද්ධිය සම්බන්ධයෙන් පිදුරංගල රජමහා විහාරයේ දායක සභාව විසින් ද, සීගිරිය පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
එහි විහාරාධිපති පූජ්‍ය ආචාර්ය දානියාගම ආනන්ද හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඊයේ දිනට යෙදී තිබුණු පොහෝ දිනයේදී පැමිණි තරුණ කණ්ඩායමක් මෙම අඩ නිරුවත් ජායාරූප ගෙන ෆේස්බුක් සමාජජාලයට මුදා හැර ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.
සීගිරිය දෙසට මුහුණ ලා ඔවුන් මෙම ජායාරූප ලබාගෙන තිබූ බවට අද උදෑසන හිරු ප්‍රවෘත්ති මගින් මුල්වරට අනාවරණ කළා.
පිදුරංගල සැලකෙන්නේ සීගිරිය බලකොටුවක්ව පැවති සමයේ එහි සිටි රහතුන් වහන්සේලාට වැඩ සිටීම සඳහා ආරාම කරවා සීගිරි කාශ්‍යප රජතුමන් විසින් පූජා කර ඇති බවටයි.
කෙසේ වෙතත් ඉදිරියේදී මෙවැනි සිද්ධින් යලි ඇති නොවීමට පියවර ගත යුතු බවයි පිදුරංගල රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය දානියාගම ආනන්ද හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා තමන් වෙත කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
එසේම මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් සහකාර අධ්‍යක්ෂවරයා අද දිනයේ පිදුරංගල රජමහා විහාරස්ථානය වෙත පැමිණීමට නියමිතයි.