Gossips

පිටුවහල් කළ කංජිපානි ඉම්රාන් ඇතුළු පිරිසක් CID භාරයට

ඩුබායි හි සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගැනුනු ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් ඇතුලූ සැකකරුවන් සිව්දෙනාගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් පවතිනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබාගනිමින් මොවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි වාර්තාවන්නේ.
මෙම පරීක්ෂණ සඳහා කටුනායක ගුවන් තොටුපල මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහයද ලබාගෙන තිබෙනවා.
මොහු අද උදෑසන 6.20 ට ඩුබායි සිට පැමිණි ප්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් එල් ඉසෙඞ් 547 දරණ යානයෙන් මෙරටට පැමිණ ඇති අතර, ශ්‍රී ලංකාව හරහා මාලදිවයින වෙත යාමට ගුවන් තොටුපලේ සංක්‍රමණික මගී පර්යන්තයේ රැඳී සිටියදියි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයට පත්වුණේ.
මොහොමඩ් ඉම්රාන් නසීම් හෙවත් කංජිපානි ඉම්රාන් සමඟ ඩුබායි රාජ්‍යයේ සිට මෙලෙස පිටුවහල් කර ඇත්තේ මධුෂ්ගේ සාදයේ සිටියදී ඩුබායි පොලීසිය මගින් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් තුන්දෙනෙක්.
ඉන් එක් අයෙකු වන්නේ මාතර – ගන්දර – තලල්ල දකුණ ප්‍රදේශයේ පදිංචි අනුෂ්ක කව්ෂාල් හෙවත් ජංගා නැමති පාතාල කල්ලි සාමාජිකයෙක්.
පසුගිය පෙබරවාරි මස තුන්වනදා ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණේ මධුෂ්ගේ මෙම සාදයට සහභාගිවීමටයි.
මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වන ජංගාගේ ගන්දර – තලල්ල නිවසේ තිබී පසුගියදා හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් සහ ටී 56 උණ්ඩ තොගයක්ද සොයාගනු ලැබුවා.
ඩුබායි අත්අඩංගුවේ සිටි සේපාල රත්නායකගේ අමිල සම්පත් නැමැත්තා අද මෙලෙස පිටුවහල් කර තිබුණා.
37 හැවිරිදි මෙම සැකකරු යුද හමුදාවෙන් පලාගිය සෙබලෙකු වන අතර, ඔහු රැකියාවක් සඳහා ඩුබායි බලා පිටත්ව ගොස් ඇත්තේ 2017 වසරේ අගෝස්තු මාසයේදියි.
ඇන්ඩර්සන් ෆර්ඩිනැන්ඩස් නැමැත්තෙක්ද කංජිපානි ඉම්රාන් සමඟ අද මෙලෙස ඩුබායි බලධාරීන් විසින් පිටුවහල් කර තිබූ අතර, ඔහු කොළඹ 13 – මහා විද්‍යාල මාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහුද මධුෂ්ගේ සාදයට සහභාගිවීම සඳහා පසුගිය ජනවාරි 31 වනදා ඩුබායි බලා පිටත්ව ගොස් තිබුණා.
පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ්, කංජිපානි ඉම්රාන් සහ ගායක අමල් පෙරේරා, ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුලූ පිරිසක් ඩුබායි තරුපන්තියේ හෝටලයකදී අත්අඩංගුවට පත්වූයේ පසුගිය පෙබරවාරි 5 වනදායි.
මධුෂ් සහ කංජිපානි ඉම්රාන් ඩුබායි අත්අඩංගුවට පත්වීමෙන් පසු පොලිස් විශේෂ කාර්ය බලකාය සහ මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය ඒකාබද්ධව දිවයින පුරා වැටලීම් සිදුකළා. එහිදී මෙම පාතාල නායකයන්ට සමීපව කටයුතු කළ පාතාල සාමාජිකයන් 15 දෙනෙකු පමණ අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ අතර, ප්‍රබලයෙකු වූයේ ජී. රිස්වාන් නැමැත්තායි. ඔහු හැඳින්වූයේ කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන වෙඩික්කරුවා ලෙසයි.
මොහොමඞ් ෂම්මූර් මොහොමඞ් ෂියාම් හෙවත් ජී බුම්බා නැමැති පාතාල සාමාජිකයාද පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත් අතර, කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳ වන ආශා ෆාරි හෙවත් කුඩු චූටිට වෙඩි තැබීමේ චෝදනාව එල්ලවූයේද ඔහුටයි.
මේ අතරතුර සිදුකළ තවත් වැටලීමකදී මාකඳුරේ මධුෂ්ට සහ කංජිපානි ඉම්රාන්ට සහය දැක්වූ තවත් ප්‍රබලයන් තුන්දෙනෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී රුපියල් කෝටියකට අධික හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගනු ලැබුවා.
එමෙන්ම අන්දරවත්තේ චාමර නැමති මාකඳුරේ මධුෂ්ගේ තවත් ප්‍රබල සහයකයෙකු මට්ටක්කුලියේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ වැටලීමකදියි.