Gossips

පිටකොටුවේ අත්‍යවශ්‍ය ආහාර තොග වෙළඳසැල් 5 වනදා වැසේ

රේගු වෘත්තීය සමිති ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඉදිරි පැය කිහිපය තුළ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙනවා.
මේ අතර, අනිද්දා පිටකොටුව අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළඳසැල් වසා දැමීමට කටයුතු කරන බවයි අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවන්ගේ සහ තොග වෙළඳුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු කියා සිටියේ.
රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ලෙස කටයුතු කළ පී.එස්.එම්. චාල්ස් යළි සේවයේ පිහිටුවීමට කටයුතු නොකිරීමට එරෙහිව ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීම සම්බන්ධයෙන් අද රැස්වී තීන්දුවක් ගන්නා බව රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ උප ලේකම් සුදත් ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඉකුත් 30 වන දා ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 5ක් ගත වන බවයි.
දිනකට වරායෙන් කන්ටේනර් 1500ත්, 2000ත් අතර සංඛ්‍යාවක් නිශ්කාෂණය වන බවත්, මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් එම සංඛ්‍යාව දිනකට 100ත්, 150ත් අතර පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, රජය තවමත් නිසි විසදුමක් ලබා නොදීම නිසා තම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත්, එය තීව‍්‍ර කිරීමට කටයුතු කරන බවත්, රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් සුදත් ද සිල්වා කියා සිටියා.
මේ අතර, රේගු වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සහ තොග වෙළඳුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු සඳහන් කළේ.