Gossips

පැළ සිටුවීමේ නැකතට ජනපති එක්වෙයි

සිංහල – දෙමළ අලූත් අවුරුදු නැකත් චාරිත්‍රයට මෙවර ඇතුළත් කෙරුණු පැළ සිටුවීමේ නැකත දිවයින පුරා ක්‍රියාත්මක වුණා.
ඒ, තුන් පොකුරු යෝගය යෙදී ඇති පූර්වභාග 11.17ටයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජනපති නිල නිවසේදි පැළ සිටුවීමේ නැකතට එක්වෙමින් පැළයක් රෝපණය කිරිම සිදුකළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.
ජනාධිපතිවරයාගේ සංකල්පයක් අනුව පැළ සිටුවීමේ වැඩසටහන් අද දිවයින පුරා යෙදී තිබූ නැකතට ක්‍රියාත්මක කෙරුණේ මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහවැලි සංවර්ධන අධිකාරිය සහ ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්වයි.
පොල්, අඹ වැනි ස්ථීර භෝග මෙම වැඩසටහන යටතේ පැළ සිටුවීමේ නැකතට රෝපණය කළ බවයි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම සඳහන් කළේ.