Gossips

පැරදුන වැය ශීර්ෂ වෙනුවෙන් පරිපූරකයක්

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ සහ අභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ඇතැම් වැය ශීර්ෂ පරාජයට පත්වීම පිළිබද අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ මෙලෙස වැය ශීර්ෂ පරාජයට පත්වීමෙන් පසු ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග කුමක් ද යන්න සභාවට පැහැදිලි කළ යුතු බවයි.
එහිදී සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පිළිතුරු ලබාදුන් අතර, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එයට මැදිහත් වුණා.
ඊයේ විවාදයට ගැනුණු අමාත්‍ය පාඨලී චම්පික රණවකට අයත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙන්ම අමාත්‍ය වජිර අබේවර්ධනට අයත් අභ්‍යන්තර, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පරාජයට පත්වුණා.
ඒ, විවාදය අවසානයේ වැය ශීර්ෂ සම්මත කර ගැනීම සඳහා විපක්ෂය ඉල්ලා සිටි ඡන්ද විමසීමේදියි.
එහිදී වැය ශීර්ෂවලට විපක්ෂව ඡන්ද 38ක් ලැබුණු අතර, පක්ෂව ලැබුණේ ඡන්ද 24ක් පමණයි.
මෙලෙස අමාත්‍යාංශයක වැය ශීර්ෂ පරාජයට පත්වුවහොත් ඉන් ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග කුමක් ද යන්න පාර්ලිමේන්තු නියෝ්‍යජ්‍ය මහලේකම් නීල් ඉද්දවලගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා.
ඔහු කියා සිටියේ පරාජයට පත්වූ වැය ශීර්ෂ වෙනුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම පවතින නීතිමය ක්‍රමවේදය බවයි.