Gossips

පැය 8 කට පසු අද්මිරාල් කරන්නාගොඩ රහස් පොලීසියෙන් පිටවෙයි

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු නාවික හමුදාපති, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ පැය 8කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව පිටව ගියා.
අද පෙරවරු 9.30ට පමණ ඔහු එම දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ හතරවන දිනටයි.
අධිකරණයේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුව හිටපු අද්මිරාල් වසන්ත කරන්නාගොඩ පළමු වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ මාර්තු මස 11 වනදායි.
පසුව ඔහු දෙවන වරටත් මාර්තු මස 13 වනදා එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර එහිදී පැය 06කට ආසන්න කාලයක් ප්‍රශ්ණ කර ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා. අද්මිරාල් වසන්ත කරන්නාගොඩ තුන්වන වරට එහි පෙනී සිටියේ මාර්තු මස 19 වනදායි.
2008 – 2009 කාල වකවානුවේදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ සිද්ධියේ පරීක්ෂණවලට අදාළවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම ප්‍රකාශ ලබා ගත්තේ.
කෙසේ වෙතත්, හිටපු නාවික හමුදාපති, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ වනවිට නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.