Gossips

පැය 28ක් ප්‍රශ්න කළ නාලක ද සිල්වා සිව්වන දිනටත් කැදවයි

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (22) තුන්වන දිනටත් පැය 9කට වැඩි කාලයක් ප්‍රකාශයක් ලබා ගත්තා.
අප වාර්තාකරු සඳහන් කළේ උදෑසන 9ට පමණ එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි ඔහු පස්වරු 6.30ට පමණ එම ස්ථානයෙන් පිටව ගිය බවයි.
කෙසේ වෙතත්, යළිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසටයි හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ.
මේ වන විට එම දෙපාර්තමේන්තුව නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගෙන් පැය 28 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
පසුගිය සිකුරාදා දිනයේදී ද ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර එහිදී පැය 9කට වැඩි කාලයක් ප්‍රශ්න කර ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගනු ලැබුවා.
එමෙන්ම එම දෙපාර්තමේන්තුව පසුගිය බ්‍රහස්පතින්දා ද මොහුගෙන් පැය 9කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියේ පරීක්ෂණවලට අදාළවයි මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්ණ කරනු ලබන්නේ.