Gossips

පැය 18ක ප්‍රශ්න කිරීම්වලින් පසු රංගන ශිල්පී රයන් වැලිගම පොලිසියට

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කෙරුණු රංගන ශිල්පි රයන් වැන්රූයන් වැඩිදුර පරීක්ෂණ සඳහා වැලිගම පොලීසියට භාර දී තිබෙනවා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පැය 18කට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි.
වැලිගම – මිරිස්ස ප්‍රදේශයේදී සොයා ගත් රයන් වැන්රූයන් භාවිත කළ බවට තොරතුරු හෙළි වූ මෝටර් රථය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ සඳහායි සැකකරු වැලිගම පොලීසියට භාර දී ඇත්තේ.
අනතුරුව ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කෙසේ වෙතත්, ඔහු සමඟ අත්අඩංගුවට ගත් අනෙකුත් සිව් දෙනා තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ අතර, පාතාල නායක මාකඳුරේ මධූෂ් රයන් වැන්රූයන්ට හඳුන්වා දී ඇත්තේ ගායන ශිල්පි අමල් පෙරේරා බව ප්‍රශ්න කිරීම්වලදී ඔහු අනාවරණ කර තිබෙනවා.
මීට පෙර ඩුබායි හි පැවති ප්‍රසංගයකදී අමල් පෙරේරා විසින් තමන්ට මාකඳුරේ මධූෂ් හඳුන්වා දුන් බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
මේ අතර, ගායන ශිල්පි අමල් පෙරේරාද නුදුරු දිනකදී ශ්‍රී ලංකාවට පිටුවහල් කරනු ඇතැයි පරීක්ෂණ මෙහෙය වන උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
මේ අතර, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන දැනට ඩුබායි හි අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකදුරේ මදූෂ් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පිටත්ව ගියා.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිපදෙනෙකුද අමාත්‍යවරයා සමඟ එහි ගොස් ඇති අතර ඔවුන් පෙරේදා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය අන්වර් බින් මොහොමඩ් හමු වී ඇති බව සඳහන්.
මෙහිදී විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ලිපියක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් කලීෆා බින් සෙයිඩ් වෙත ලබාදීම සඳහා එරට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වෙත භාරදී ඇතිි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.