Gossips

පැය 13 ක් තුල අකුණු 36749 ක්

පසුගිය අගහරුවාදා පැය 13 ක කාලයක් තුල ඉන්දියාවේ අන්ද‍්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ අකුණුසැර 36749 ක් වාර්තාවී තිබෙනවා.
මෙය ඉතා අසාමාන්‍ය තත්වයක් මෙන්ම ඉතිහාසගත වන සිදුවීමක් බවයි ඉන්දීය ආපදා කළමණාකරණ බලධාරීන් ප්‍රකාශකර ඇත්තේ.
මෙම අකුණු හේතුවෙන් වයස අවුරුදු 9 ක ගැහැණු ළමයෙක් ද ඇතුලුව 9 දෙනෙකු මියගොස් තිබෙනවා.
මෝසම් වර්ෂාවත් සමග ඉන්දියාවේ අකුණු ඇතිවීම ඉතා සුලබ සිදුවීමක්.
එහෙත් පැය 13 ක් තුල අකුණු 36749 ක් වාර්තාවීම අසාමාන්‍ය තත්වයක් බවයි එරට කාලගුණ අංශ ද සඳහන් කළේ.
ඉන්දියාවේ මෝසම් වර්ෂා තත්වය ජුනි මාසයේ ආරම්භ වී සැප්තැම්බර් මාසය දක්වා පවතිනවා.
කෙසේවෙතත් මෙවර එම වැසි තත්වය ආරම්භයට පෙර අකුණු තත්වයේ වැඩිවීමක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.
පසුගිය වසරේ මැයි මාසයේදී අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තාවී ඇත්තේ අකුණුසැර 30000 ක් පමණයි.
ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම අකුණු වැඩිවීමට හේතුවක් වන්නට ඇතැයි ඇතැම් විද්‍යාඥයන් පෙන්වා දෙනවා.
මේ අතර 2000 වසරේ සිට 2005 වසර දක්වා සෑම වසරකම ඉන්දියාවේ පුද්ගලයන් 2000 ක් පමණ අකුණුසැර හේතුවෙන් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
2016 ජුනි මාසයේදී පමණක් බිහාර්, අන්ද්‍රා ප්‍රදේශ්, ජහර්කාන්ද්, උත්තර් ප්‍රදේශ් සහ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තවල අකුණු වැදීම් හේතුවෙන් 93 දෙනෙකු මියගිය අතර 20 දෙනෙකු තුවාල ලැබුවා.
සංවර්ධිත රටවලට සාපේක්ෂව ඉන්දියාවේ අකුණු වැදීම් හේතුවෙන් සිදුවන මරණ වැඩි අගයක් ගන්නවා.
අමරිකාව වැනි සංවර්ධිත රටවල අකුණු සැර හේතුවෙන් වාර්ෂිකව සිදුවන්නේ මරණ 27 ක පමණ ප්‍රමාණයක් පමණයි.