Gossips

පැය කිහිපයක් තුල රිය අනතුරුවලින් 07 දෙනෙකු මරුට – 21කට තුවාල

ගත වූ පැය කිහිපය තුල ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයන් 07 දෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අඹගස්වැව ප්‍රදේශයේදී අද (24) උදෑසන සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ මව සහ පුත්‍රයා මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලැබුවා.
බන්ධනාගාර බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර සිද්ධියෙන් මියගොස් ඇත්තේ කුරුණෑගල පොතුහැර ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි මව සහ 40 පුත්‍රයායි.
අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථය පදවා ඇත්තේ මියගිය පුත්‍රයා විසින්.
කුරුණෑගල සිට අනුරාධපුරය දක්වා මොවුන් ගමන් කර ඇති අතර තුවාල ලැබූවන් මේ වනවිට කුරුණෑගල මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බස් රථය පැදවූ නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම කැකිරාව – දඹුල්ල ප්‍රධාන මාර්ගයේ මඩාටුගම ප්‍රදේශයේදී වෑන් රථයක් සහ කුඩා ලොරි රථයක් ගැටී ඊයේ රාත්‍රියේ සිදුවූ තවත් අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුලත් කෙරුණා.
පොලීසිය සඳහන් කළේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගල්කිරියාගම නෑගම්පහ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 58ක් වයසැති පිරිමි පුද්ගලයෙකු සහ 46 වියැති කාන්තාවක් බවයි.
මොවුන් ඥාතීන් වන අතර තුවාලලැබූ පිරිසෙහි කුඩා ළමයින් දෙදෙනෙකු ද වනවා.
මේ අතර, කුරුණෑගල මීගමුව මාර්ගයේ මල්කඩුවාව ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරුපැදියක් ගැටී ඊයේ පස්වරුවේ සිදු වූ අනතුරකින් ද පුද්ගලයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලැබුවා.
එමෙන්ම හෝමාගම නියදගම මාර්ගයේදී ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයාමෙන් අවුරුදු 36ක් වයසැති පුද්ගලයෙකු මියගොස් තවත් 04 දෙනෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කෙරුණා.
පෙහවස් සමාදන් වීම සඳහා අනුරාධපුර ශ්‍රී මහා බෝධියට පැමිණෙමින් සිටි 72 හැවිරිදි කාන්තාවක් වෑන් රථයකට යටවීමෙන් ජිවිතක්ෂයට පත්වුණේ අද අළුයමයි.