Gossips

පැයකදී යාපනයේ නිවාස 3 කට ප්‍රහාරයක්

යතුරුපැදිවලින් පැමිණි පිරිසක් විසින් යාපනයේ ස්ථාන තුනකදී නිවාස 3 කට සහ යතුරුපැදි 8 කට පහරදී අලාභහානි සිදුකර තිබෙනවා.
යතුරුපැදි 3 කින් පැමිණි පුද්ගලයින් 9 දෙනෙකු ඊයේ පස්වරු 3.30 ට පමණ පළමු පහරදීම සිදුකර තිබුණේ කෝපායි – කොකුවිල් ප්‍රදේශයේ නිවසකටයි.
ඉන් පැය භාගයකට පමණ පසු මුහුණු ආවරණය කරගෙන පැමිණි 6 දෙනෙකු චුන්නාකම් – තවාඩි දකුණ ප්‍රදේශයේ නිවසකට පහරදී අලාභහානි සිදුකර තිබුණා.
ඒ සඳහා පුද්ගලයින් 6 දෙනෙකු පැමිණ ඇති අතර, ඔවුන් අදාළ නිවස ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදි දෙකකටද හානිකර පලාගොස් තිබෙනවා.
එසේම යාපනය පොලිස් වසමේ කොකුවිල් නැගෙනහිර ප්‍රදේශයේ නිවසකට සහ යතුරුපැදි 3 කට ද ඊයේ පස්වරුවේ කිසියම් පිරිසක් පහරදී අලාභහානි සිදුකර ඇති බවයි පොලීසිය කියා සිටියේ.
ඒ සඳහා පුද්ගලයින් 9 දෙනෙකු පැමිණ ඇති අතර, ඔවුන් අදාළ නිවසේ තිබූ රුපියල් 3,800ක් කොල්ලකා තිබෙනවා. පැයක කාලයක් ඇතුළත මෙම පහරදීම සිදුව ඇති අතර, එකම කණ්ඩායමක් විසින් මේවා සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඒ සඳහා 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගිවී ඇති බවටද විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා.
ඉන් 8 දෙනෙකුම මේ වනවිට හඳුනාගෙන ඇති අතර, ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවයි උතුර පළාත භාර උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ අතර දැනට වසා දමා ඇති යාපනය සිංහල මහා විද්‍යාලය යළි ආරම්භ කිරීම සඳහා වන සාකච්ඡාවක් ලබන 26 වනදා යාපනය පැරණි උද්‍යානයේදී පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.
1953 වසරේ ආරම්භ කළ මෙම පාසලෙහි මේ වනවිට යුද හමුදාව රැඳී සිටින අතර, පැවති යුධමය තත්ත්වය හේතුවෙන් 1985 වසරේදී මෙම පාසල වසා දමනු ලැබුවා.
කෙසේ වෙතත් යාපනයේ ප්‍රදේශ කිහිපයක සිංහල වැසියන් පදිංචිව සිටින නිසා ඔවුන්ගේ දරුවන්ට අධ්‍යයන කටයුතු සිදුකිරීමට මෙම විද්‍යාලය යළි විවෘත කිරීමටයි සැළසුම් කර ඇත්තේ.