Gossips

පැති මාරුකළ අයට ඇමතිකම් එපා – එජාපයෙනුත් විරෝධය

පත් කිරිමට නියමිත අමාත්‍ය මණ්ඩලයේ නාමලේඛනය අද පස්වරුවේ ජනාධිපතිවරයා වෙත යොමුකිරීමට නියමිත බව එක්සත් ජාතික පෙරමුණේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව පත්කළ හැක්කේ අමාත්‍යවරුන් 30 දෙනෙකු පමණයි.
කෙසේ වෙතත් 40 දෙනෙකුගෙන් යුත් නාමලේඛනයක් අද දිනයේ ජනාධිපතිවරයා වෙත යොමුකරන බවයි එම පෙරමුණ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
එම ලැයිස්තුවට ජනාධිපතිවරයා අනුමැතිය දීමෙන් පසු දිවුරුම් දීම හෙට දිනයේදී සිදුවනු ඇති බව එම මන්ත්‍රීවරයා කියා සිටියා.
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දීම පසුගිය 16 වනදා සිදුවු අතර ඒ අනුව අග්‍රාමාත්‍යවරයා දිවුරුම් දිමෙන් පසු කැබිනට් මණ්ඩලයක් නොමැතිව මේ වන විට ගතවන්නේ තුන්වන දිනයයි.
නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ පිරිසට අමාත්‍ය ධුර පිරිනැමීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ තවදුරටත් සාකච්ඡා කිරීම, අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම්දීම මෙලෙස කල්යෑමට හේතුව බව එක්සත් ජාතික පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
එක්සත් ජාතික පෙරමුණ තුළද කැබිනට් අමාත්‍ය ධුර බෙදීයාම සම්බන්ධයෙන් ගැටළු සහගත තත්ත්වයක් මතුව ඇති බව වාර්තාවනවා.
මේ අතර ආණ්ඩුවට එක්වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුර ලබා නොදීමට ඊයේ රැස්වූ නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමිවූ බව එම පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර කියා සිටියා.
එලෙස එක්වූ මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුර ලබාදීමට තමන්ද විරුද්ධ බවයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ.
පැවති දේශපාලන අර්බුදය හේතුවෙන් ලබන වසර සඳහා අයවැයක් ඉදිරිපත් කිරීමට නොහැකිවූ අතර, මෙම වසර නිමවීමට තවත් ඇත්තේ දින 11 ක කාලයක්.
ඊට පෙර අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවේ සම්මත කළ යුතු අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතු වනවා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කළේ අනිද්දා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.