Gossips

පැටවා ලිඳට වැටුණු පසු කලාගම කැළඹූ කෙනර

තම පැටවා අනාරක්ෂිත වගා ළිඳකට වැටීමෙන් පසු වියරු වැටුණු කෙනරක් කැකිරාව කලාගම ප්‍රදේශය අද නොසන්සුන් කළා.
වනජීවී නිලධාරීන් පැටවාගේ දිවි බේරාගැනීමට මෙහෙයුමක් සිදු කළේ තම දිවි පරදුවට තබමින්.
කලා වැව ජාතික උද්‍යානය ආවරණය වන පරිදි ඉදිකර ඇති විදුලි වැට බිඳ දමා ඊයේ වල් අලි රංජුවක් ආහාර සොයා කලාගම 08 ඇල ප්‍රදේශයට පැමිණ තිබුනා.
ඒ අතරතුරයි මාස 03 ක පමණ අලි පැටවෙකු අනාරක්ෂිත වගා ළිඳකට වැටී තිබුනේ.
වනජීවී නිලධාරීන් අදාල ප්‍රදේශයට ලගා වුව ද අනතුරට පත් පැටවාට ආරක්ෂාව සපයමින් කෙනෙර ළිඳ අසලින් ඉවත් වුයේ නැහැ.
අලි වෙඩි හා රබර් උණ්ඩ භාවිත කරමින් නිලධාරීන් කෙනෙර එළවීමට උත්සාහ ගත්ත ද එය අවස්ථා කිහිපයකදීම අසාර්ථක වුණා.
වනජීවී නිලධාරියෙකු සතු ගිනි අවියක කාර්මික දෝෂයක් ඇතිවීමත් සමග ඔහුගේ දිවි බේරාගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවුණා.
වනජීවී නිලධාරීන් බැකෝ යන්ත්‍රයක් උපයෝගී කරගනිමින් වගා ළිඳ අසලට ලගාවුයේ ඉන් අනතුරුවයි.
එහෙත් අවස්ථා දෙකකදී බැකෝ යන්ත්‍රයට පහරදීම කෙනෙර මෙලෙස ක්‍රියා කළා.
පැය ගණනාවක් සිදුකළ දැඩි පරිශ්‍රමයකින් අනතුරුව කෙනෙර එම ස්ථානයෙන් ඉවත් කර ළිං කට ඔස්සේ මාර්ගයක් සකසා අලි පැටවා ගොඩ ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකි වුණා.
නිරුපද්‍රතව ගොඩට පැමිණි අලි පැටවා මව් කෙනෙර සමග යළි කලා වැව ජාතික උද්‍යානය වෙත පලවා හැරීමට නිලධාරීන් මෙලෙස පියවර ගත්තා.