Gossips

පා.මන්ත්‍රිවරුන්ගේ වැටුප් වැඩිකිරීම ගැන අවසන් තීරණයක් නැහැ – නියෝජ්‍ය කථානායක

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වනතුරුත් අවසන් තීරණයක් ගෙන නොමැති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි සඳහන් කළා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී නියෝජ්‍ය කථානායකවරයා කියා සිටියේ විනිසුරුවරුන්ගේ වැටුප් වැඩිවීමට සාපේක්ෂව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩිවීම සිදුකළ යුතු ආකාරය පිළිබඳව කථානායකවරයා පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කර අවසන් තීරණයක් ගනු ඇති බවයි.
විනිසුරුවරුන්ගේ වැටුපට සමානුපාතිකව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිකිරීමේ සූදානමක් පවතින බවට ජාතික පුවත්පත් අද වාර්තා කළා.
එමඟින් දක්වා තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ කැබිනට් අමාත්‍යවරුන්ගේ වැටුප දැනට පවතින වැටුපේ සිට සියයට 215කින් වැඩි කිරීමට නියමිත බවයි.
යම් හෙයකින් විනිසුරුවරුන්ගේ වැටුපට සාපේක්ෂව නව වැටුප් තලය සකස් වන්නේ නම් රුපියල් 54,285ක් ලෙස පවතින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වැටුප රුපියල් එක්ලක්ෂ විසි දහසක් දක්වාත්, නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ වැටුප රුපියල් 63,500 සිට රුපියල් එක්ලක්ෂ තිස් පන්දහස දක්වාත්, රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ වැටුප රුපියල් 65,000 සිට රුපියල් එක්ලක්ෂ 40,000 දක්වාත් වැඩිවීමට නියමිතයි.
අප මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන් විමසීමක් කළා. එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ මෙවැනි වැටුප් වැඩිවීමක් සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමඟ අදහස් හුවමාරුවීමක් සිදුවී නොමැති බවයි.
මෙවැනි අවස්ථාවක වැටුප් වැඩිවීමක් සම්බන්ධයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බවද ඔහු කියා සිටියා.
නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහගෙන් අප විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ විනිසුරුවරුන්ගේ වැටුප් තලයට සමානුපාතිකව මන්ත්‍රීවරුන්ගේ වැටුප වැඩිවිය යුතු වුවද මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස සඳහන් කළේ යම් හෙයකින් උපක්‍රමශීලී ලෙස මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිවීමක් සිදුකරගැනීමේ හැකියාවක් පවතින බවයි.
ඒකාබද්ධ විපක්ෂය පවසන්නේ කථානායකවරයාගේ ස්ථාවරය දැනගැනීම අත්‍යවශ්‍ය වන බවයි. ජනතාවගේ ජීවන බර ඉහළ ගොස් ඇති මොහොතක මෙවැනි වැටුප් වැඩි කිරීමක් අපේක්ෂා නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා කියා සිටියා.