Gossips

පාසිකුඩාවට මිලිමීටර් 342ක වර්ෂාපතනයක් (ඡායාරූප)

පළාත් කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හෙටින් පසු අඩු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදේ පැවති අඩු පීඩන තත්ත්වය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පැවතීම ඊට හේතුව බවයි එම දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ.
එමෙන්ම අධික වැසි හේතුවෙන් පරාක්‍රම සමූද්‍රය, දැදුරුඔය, රාජාංගණය සහ නාච්චදුව ජලාශවල වාන් දොරටු මේ වන විටත් විවෘතව පවතිනවා.
එමෙන්ම, දඹුළු ඔය සහ කලා වැවේ ද වාන් දොරටු දෙක බැගින් විවෘත කිරීමට පියවර ගෙන ඇති බවයි එහි තාක්ෂණික ඉංජිනේරු එම්.එච්.එන්.ආර්. බණ්ඩාර සඳහන් කළේ.
මේ අතර, රාජාංගණය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ ඉන් මුදා හැරෙන ජලය කලාඔයට පැමිණීම හේතුවෙන් පුත්තලම, මන්නාරම මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයෙන් යටව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ යාන්ඔය, හොරොව්පතාන ප්‍රදේශයෙන් වාන් මට්ටමට පැමිණ ඇති බැවින් ඒ අවට ජනතාව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසටයි.
අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම, නුවරඑළිය සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ජනතාවට වැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.
එම දිස්ත්‍රික්කවල පුද්ගලයින් 2559ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
එමෙන්ම වර්ෂාව සමඟ ඇති විය හැකි නාය යාම් තත්ත්වයන් පිළිබදව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ද එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
මේ අතර, අධික වැසි හේතුවෙන් පොළොන්නරුව – මඩකලපුව දුම්රිය මාර්ගය පූනානි ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් දුම්රිය ධාවනය පොළොන්නරුව දක්වා තවදුරටත් සීමා කර තිබෙනවා.
අද (07) උදෑසන 10න් අවසන් වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී ඇත්තේ පාසිකුඩා ප්‍රදේශයෙන්.
එය මිලිමීටර් 342.3ක්. එමෙන්ම මඩකලපුව – කිරාන් ප්‍රදේශයට ද මිලිමීටර් 290.3ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.
ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය, පුත්තලම හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශ වර්ෂාව පවතින අවස්ථාවල රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක කියා සිටියේ.