Gossips

පාස්කු මංගල්‍යය අදයි

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මරණයෙන් උත්ථාන වීම අනුස්මරණය කරන පාස්කු මංගල්‍යය ලොවපුරා කිතුණුවන් අද සමරනු ලබනවා.
ලෝකයේ මිනිසුන්ට ජීවත් විය හැකි සාමකාමී නවාතැනක් වන්නේ සියලූ ආකාරයේ හිංසනයන් හා පීඩනයන් දුරු වූ කල්හි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු මංගල්‍යය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පවසනවා.
බලය හෝ ධනය වෙනුවෙන් වපුරන හිංසනය බිම් සකසන්නේ මිනිස් වාසයට නොවන බව පැහැදිළියි.
පාස්කුව එළඹෙන්නේ ආදරය, සාමය සහ අන්‍යෝන්‍ය ගෞරවයෙන් යුතුව නැගී සිටින මිනිස් සමාජයක් පිළිබඳව අපේක්ෂා දල්වමින් බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ.
එමෙන්ම ක්‍රිස්තුන් වහන්සේ මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කරමින් විඳි කටුක දුක් වේදනා අද දිනයේ සිහිකරන කිතුනුවන් පොදු මිනිස් වර්ගයාට එරෙහිව නැගෙන හිංසනයට ද, පීඩනයට ද එරෙහිව අවිහිංසාවාදීව සිට ගැනීමට ඉගෙන ගන්නා බව ජනාධිපතිවරයා සිය පාස්කු දින පණිවුඩයෙන් සඳහන් කළා.
මේ අතර, පාස්කු මංගල්‍යය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ සෑම ජීවිත අභියෝගයකම, අරගලයකම අවසානයේ බලාපොරොත්තුවක් ඇති බව පාස්කුව කියා දෙන වැදගත්ම පාඩම බවයි.
පුද්ගලයන් ලෙස මෙන්ම, රටක් ලෙසත් අභියෝගාත්මක අවස්ථාවන් එළඹි විට අඳුරු වළාවක රිදී රේඛාවන් දකින්නා සේ එම අභියෝගවලට මුහුණදී ජයග්‍රහණය මතින් පොදු යහපත උදාකර ගැනීමට වෙර දැරිය යුතු බවයි අග්‍රාමාත්‍යවරයා එමගින් වැඩිදුරටත් සදහන් කළේ.