Gossips

පාසල් වෑන් ගාස්තු නංවයි – බස්, ත්‍රිරෝද රථ තීන්දුව පස්වරුවේ

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ප්‍රවාහන ගාස්තු සංශෝධනය සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන සංගම් කිහිපයක් ඒකාබද්ධ සාකච්ඡාවක් අද පස්වරුවේ කොළඹ දී කැදවා තිබෙනවා.
එහිදී ඉන්ධන මිල ඉහළ යාම පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඉන්ධන මිල සූත්‍රය අනුව පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට යළි ඉහළ දැමුණා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 149ක් වන අතර, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 161ක්. එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 123ක් වන අතර සුපිරි ඞීසල් ලීටරයක නව මිල රුපියල් 133ක්.
එමෙන්ම, ලංකා අයි. ඕ.සී. සමාගම ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 150කට ඔවුන් අලෙවි කරන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 164ක්.
අයි. ඕ.සී. සමාගම ද ඔටෝ ඩීසල් රුපියල් 123ක් දක්වා සහ සුපිරි ඞීසල් රුපියල් 133 දක්වා ඉහළ දමා තිබෙනවා.
මේ අතර, ඉන්ධන මිල මෙලෙස ඉහළ යාමත් සමඟ පාසල් වෑන් රථ ගාස්තුව ද සියයට 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමය තීරණය කර තිබෙනවා.
එහි සභාපති එල්. මල්ශ්‍රී ද සිල්වා කියා සිටියේ ප්‍රවාහනය සඳහා වැය වන අධික වියදම හේතුවෙන් මෙලෙස ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවයි.
ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා මිල සූත්‍ර හඳුන්වා දෙන්නේ නම් ප්‍රවාහනය ක්ෂේත්‍රයට ද මිල සූත්‍රයක් අවශ්‍ය බවයි අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිතකුමාර හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.
එමෙන්ම ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ත්‍රිරෝද රථ රියදුරන් මහත් අපහසුතාවට පත්ව ඇති බවයි ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමය සඳහන් කළේ.
එහි සභාපති සුනිල් ජයවර්ධන කියා සිටියේ ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට රජය කටයුතු කළ යුතු බවයි.