Gossips

පාසල් දැරියක් මුදලට අලෙවි කළ කාන්තාවක් ඇතුලු 3 ක් රිමාන්ඩ්

පාසල් දැරියක් මුදලට අලෙවි කර බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් කාන්තාවක් ඇතුලු 3 දෙනෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදුන්නේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ මීගමුව කිඹුලාපිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක්, ඇයගේ පුත්‍රයා වන 23 හැවිරිදි තරුණයෙක් සහ රථ වාහන අලෙවි ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය 46 හැවිරිදි පුද්ගලයෙක්.
අතවරයට පත්වූ දැරිය මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
කටාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ලැබුනු තොරතුරකට අනුව ඊයේ සිදුකළ මෙහෙයුමකදී සැකකාර කාන්තාව අදාළ දැරිය යතුරුපැදියකින් ගෙන ගොස් ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට පත්වී තිබෙනවා.
සැකකාරියගේ පුත්‍රයන් දෙදෙනාගෙන් එක් අයෙක් ප්‍රදේශය අත්හැර පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකයි.
අපයෝජනයට ලක්වී ඇත්තේ කිඹුලාපිටිය ප්‍රදේශයේම පදිංචි 16 හැවිරිදි දැරියක්.
දීර්ඝ කාලයක් පුරා මෙම ජාවාරම ක්‍රියාත්මක වී ඇති අතර දැරිය පාසල් අවසන් වීමෙන් පසුව සැකකාර කාන්තාව ඇය විවිධ පුද්ගලයන්ට මුදලට අලෙවි කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
කටාන පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශණ මෙහෙයවනවා.