Gossips

පාසල්වල මුදල් එක් රැස් කිරීම පිළිබඳ චක්‍රලේඛය අහෝසි කෙරේ

අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයකින් තොරව අවිධිමත් ලෙස මුදල් එක්රැස් කිරීමේ අවස්ථා පවතින බව අනාවරණ වීමත් සමඟ පාසල්වල මුදල් එක්රැස් කිරීම පිළිබඳව නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම අවලංගු කරන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් උපදෙස් ලබාදී තිබෙනවා.
පාසල්වලට මුදල් එක්රැස් කිරීමේදී එම කටයුතු විධිමත් කිරීම අරමුණු කරගනිමින් 2018 වසරේ ජුනි මස 22 වැනිදා හිටපු අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් 26/2018 දරණ මෙම චක්‍රලේඛය නිකුත් කර තිබුණා.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ එම චක්‍රලේඛය අද සිට අවලංගු වන බවයි.
ඒ වෙනුවට පාසල්වල අවිධිමත් ලෙස මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති 5/2015 චක්‍රලේඛය බලාත්මක කිරීමට පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.