Gossips

පාර්ලිමේන්තු සැසිවාරයට ආණ්ඩු පක්ෂය අදත් සහභාගි නොවේ

ආණ්ඩු පක්ෂය නොමැතිව අදත් කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වුණා.
පාර්ලිමේන්තු රැස්වීමට පෙර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්ද පැවති අතර, ඊට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් කිසිවෙකුත් එක්ව සිටියේ නැහැ.
කෙසේ වෙතත්, විපක්ෂයේ පක්ෂ නායකයින්, පක්ෂ නායක රැස්වීමට සහභාගිවූ අතර, අද පාර්ලිමේන්තුවේ කටයුතු න්‍යාය පත්‍රයට අනුව සිදුකිරීමට එහිදී තීරණය කළ බවයි සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ.
කෙසේ වෙතත්, පක්ෂ නායක රැස්වීමට එක් නොවූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමට සහභාගි වුණා.
එහිදී ඔවුන් තීරණය කළේ කථානායකවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් අද දිනයේත් පාර්ලිමේන්තු සභා වාරය වර්ජනය කිරීමටයි.
අනතුරුව පෙරවරු 10.30 ට නියමිත පරිදි පාර්ලිමේන්තුව රැස්වූ අතර, ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර තිබියදී, අමාත්‍ය විජේදාස රාජපක්ෂ පමණක් එම අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ අසුන්ගෙන සිටියා.
එමෙන්ම, පසුගියදා ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමට සහභාගි වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විපක්ෂයේ අසුනක අසුන්ගෙන සිටීමද විශේෂත්වයක්.
පසුගියදා යළිත් එක්සත් ජාතික පෙරමුණට එක්වූ හිටපු අමාත්‍ය වසන්ත සේනානායකද අද විපක්ෂයේ අසුන්ගෙන සිටියා.
සභා වාරය ආරම්භයේදී කතානායක කරූ ජයසූරිය දැනුම් දුන්නේ පසුගියදා පාර්ලිමේන්තුව තුළ ඇතිවු ගැටුම් සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් සිදුකිරීම සඳහා නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ බවයි.
අනතුරුව අද දිනයේ න්‍යාය පත්‍රයට අනුව ජනරජයේ අරමුදල්වලින් කවර හෝ වියදම් අනුමත කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාට කිසිදු බලයක් නොමැති බව සඳහන් යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
එය ස්ථිර කරනු ලැබුවේ නවීන් දිසානායක මන්ත්‍රීවරයායි.
අනතුරුව අමාත්‍ය විජේදාස රාජපක්ෂ විශේෂ ප්‍රකාශයක් සිදු කළ අතර, එහිදී ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුවේ බහුතරය ඇති කණ්ඩායමට ආණ්ඩුවක් පවත්වාගෙන යාමට ඉඩ ලබාදිය යුතු බවයි.
පසුව යෝජනාව සම්බන්ධයෙන් වන විවාදය ආරම්භ කෙරුණු අතර, එය මේ වනවිටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.