Gossips

පාර්ලිමේන්තු සැසිය කල් දාන ගැසට් පත්‍රයේ අඩුවක් – වේලාව දක්වා නව ගැසට්ටුවක් එයි

පාර්ලිමේන්තුවේ සැසි වාරය අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ දෙවන සැසිය ආරම්භ කරන වේලාව සඳහන් කර නොමැතිවීම නිසා ගැටළුසහගත තත්ත්වයක් මතුව තිබෙනවා.
මේ නිසා නව සැසි වාරය ආරම්භ කරන වේලාව සඳහන් කර අලුතින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළා.
එංගලන්තයේ සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා මෙරටට පැමිණි පසු එම ගැසට් නිවේදනය නිකුත් කරනු ඇති බවට අපේක්ෂා කරන බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.
පාර්ලිමේන්තුවේ පළමු වන සැසි වාරය අවසන් කිරීමේ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා නිකුත් කරනු ලැබුවේ පසුගිය 12 වන දායි.
එම ගැසට් නිවේදනයේ දෙවන සැසි වාරය ආරම්භ කරන දිනය මැයි 08 වන දා ලෙස සඳහන් කර තිබුණ ද එහි වේලාවක් දක්වා තිබුණේ නැහැ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී තවදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය මහලේකම්වරයා කියා සිටියේ මීට පෙර ද මෙවැනි ගැසට් නිවේදන නිකුත් කර ඇති බවයි.