නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නේ ද නැද්ද යන්න පිළිබඳව එහිදී අවසන් තීන්දුවක් ගැනීමට නියමිතව තිබෙන බව හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියා.
ඒ අනුව, ලබන මැයි 8 වනදා නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වන්නේ ආණ්ඩුවේ ඉදිරි කාලසීමාව ක්‍රියාත්මක වන ආකාරය සහ සංයුතිය පිළිබඳව ප්‍රතිපත්ති ප්රකාශනයක් ද ඉදිරිපත් කරමින් බවයි ආරංචි මාර්ග පවසන්නේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතලවලට අනුව එහි 70 වන වගන්තිය බලාත්මක කර ගනිමින් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළා.
ඒ අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින්. ඒ අනුව, ඊයේ මධ්‍යම රාත්‍රියෙන් පසු 2015 වසරේ සැප්තැම්බර් මස 2 වනදා ආරම්භ වූ 8 වන පාර්ලිමේන්තුවේ පළමුවන සැසිවාරය අවසන් වනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව ජනාධිපතිවරයා විසින් මෙලෙස සැසිවාරයක් අවසන් කළ විටදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව, රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු ප්‍රධාන කාරක සභා කිහිපයක් අවලංගු වන අතර, පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති එහෙත් පළමුවර කියවීමක් සිදුනොකළ අණ පණත් ද අහෝසි වනවා.
ඒ අනුව, නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වීමෙන් පසු අදාළ කාරක සභා යළි පිහිටවිය යුතු අතර ඒ සඳහා මහජන නියෝජිතයින් ද පත් කළ යුතුයි.
එමෙන්ම, පෙර සැසිවාරයේදී ඉදිරිපත් කර තිබූ අණ පනත් ද යළි න්‍යාය පුස්තකයට ඇතුළත් කළ යුතු වනවා.
එසේම, නව සැසිවාරය ආරම්භ වන දිනයේ ජනාධිපතිවරයා විසින් රාජාසන කතාවක් සිදුකරමින් ආණ්ඩුවේ ඉදිරි ගමන් මාර්ගය ප්‍රකාශයට පත් කිරීම පාර්ලිමේන්තු සම්ප්රදායයි.
මේ අතර, පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කළා.
එමගින් පෙන්වා දී ඇත්තේ මෙලෙස පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට රජය ගෙන ඇති තීරණය ආණ්ඩුවේ කටයුතුවලට බාධාවක් නොවන බවයි.
එසේම, අවසන් වූ සැසිවාරයේදී නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු නව සැසිවාරයට ඉදිරිපත් කළ හැකි බව ද රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.