Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ සතියේ CID යට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ සහ ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශ ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් පැමිණ නොමැති බව අද අධිකරණයේදී ප්‍රකාශ වුණා.
ඒ, ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයට අදාළ නඩුව කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවේ කැඳවූ අවස්ථාවේදියි.
කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ සතිය තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන බවට දැනුම් දී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කියා සිටියේ.
මෙහිදී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ ඉන්දීය ජාතිකයා ලබන 30 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
මීට පෙර ඉන්දීය ජාතිකයා අධිකරණයට දැනුම් දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ සහ ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශ හමුවීම සඳහා තමන් ඔවුන් රැදී සිටි ස්ථානවලට ගිය බවයි.
ඊට අදාළව ප්‍රකාශ ලබා ගැනීම සඳහා පසුගිය සතියේදී ඔවුන් තිදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇති බවයි මීට පෙර පැවති නඩු වාරයේදී එම දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.
මේ අතර, හම්බන්තොට දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සාමාජික ලෙස කටයුතු කළ කාල වකවානුවේදී ආයෝජක සමාගමක් අතර පැවති සාකච්ඡාවක් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටියා.
එහිදී මන්ත්‍රීවරයා පැය දෙකකට ආසන්න කාලයක් අල්ලස් කොමිසම හමුවේ අදාළ ප්‍රකාශය ලබාදී තිබෙනවා.