Gossips

පාර්ලිමේන්තු ගැටුම ගැන වාර්තාවේ තොරතුරු හෙළිවෙයි

පාර්ලිමේන්තුව තුළ පසුගියදා ඇති වූ ගැටුම්කාරි සිදුවීමට අදාළව චෝදනා ලබන මන්ත්‍රීවරුන්ට, පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනත යටතේ ඇති කරුණු අනුව ඉදිරි පියවර ගන්නා බව ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ කමිටුව ප්‍රකාශ කළා.
පසුගිය වසරේ නොවැම්බර් මස 14,15 සහ 16 යන දිනවල පාර්ලිමේන්තුව තුළ ඇති වූ ගැටුම්කාරි තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදීම සදහා කතානායකවරයා කමිටුවක් පත් කරනු ලැබුවා.
එහි සභාපතිත්වය දරනු ලැබූවේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි විසින්.
කමිටුවේ සෙසු සාමාජිකයන් වූයේ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමල් රාජපක්ෂ, චන්ද්‍රසිරි ගජධීර, මාවෙයි සේනාධිරාජා සහ බිමල් රත්නායකයි.
කෙසේ වෙතත්, චමල් රාජපක්ෂ සහ චන්ද්‍රසිරි ගජධීර යන මන්ත්‍රීවරුන් එම කමිටුවේ කටයුතුවලට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කර තිබුණා.
මෙම කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කරනු ලැබුවේ අදාළ දින 3 තුළ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සභා ගැබ තුළ ඇති කැමරා සහ විද්‍යුත් මාධ්‍යවලින් ලබා ගත් සංස්කරණය නොකළ දර්ශන උපයෝගි කර ගනිමිනුයි.
මේ අතර, පාර්ලිමේන්තුවේ සිදුවූ ගැටුමෙන් රුපියල් තුන්ලක්ෂ 25,000 ක හානි සිදුව ඇති අතර, ගැටුම පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 59 කට චෝදනා එල්ල වන බව බී.බී.සී. සිංහල සේවය වාර්තා කළා.
එහි වැඩිදුරටත් සදහන් වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 54 දෙනෙකුත්, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 4 දෙනෙකුත්, ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකුත් එම 59 දෙනා අතර සිටින බවයි.