Gossips

පාර්ලිමේන්තු ගැටුමේ චෝදනා එල්ලවූ මන්ත්‍රීවරුන්ගෙන් හෙළිදරව්වක්

පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් තමන්ට නඩු පැවරීමට ආණ්ඩුව කටයුතු කර ඇත්තේ පාර්ලිමේන්තුව තුල විපක්ෂයේ හඬ මර්දනය කිරීමට බව චෝදනාවට ලක්ව සිටින එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පවසනවා.
ඔවුන් මේ බව සඳහන් කළේ වරප්‍රසාද කමිටුව විසින් ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.
පසුගිය වසරේ නොවැම්බර් 14, 15 සහ 16 යන දිනවල පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් 59 දෙනෙකුට චෝදනා එල්ල වී ඇති අතර ඉන් වැඩි පිරිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්.
මේ අතර, පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව විසින් ගැටුමට සම්බන්ධ මන්ත්‍රීවරුන් 7 දෙනෙකුට නඩු පැවරීමට ඊයේ තීරණය කළා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ප්‍රසන්න රණවීරට එල්ල වූ චෝදනා වූයේ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, පහර දීම සහ මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල කිරීමයි.
එම සන්ධානයේ දිලුම් අමුණුගම සහ එක්සත් ජාතික පක්ෂයේ ආනන්ද අලුත්ගමගේ යන මන්ත්‍රීවරුන්ට නඩු පැවරීමට සූදානම් වන්නේ කතානායකවරයාගේ මේසයේ මයික්‍රෆෝනය කඩාදැමීමේ චෝදනාව යටතේයි.