Gossips

පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකියි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒකමතික තීන්දුවක්

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රකාශ කළා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු නලින් පෙරේරා කියා සිටියේ වසර හතරයි මාස 6 ක් යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවයි.
සත් පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතික තීන්දුවක් ලෙස මෙය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම් විභාගයේ අවසන් තීන්දුව අද පස්වරු 4 ට ප්‍රකාශ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛාධිකාරිවරයා අද පෙරවරුවේ දැනුම් දුන්නා.
තීන්දුව ලබාදීමේ අවස්ථාව දැක ගැනීම සඳහා පෙත්සම්කාර පාර්ශව සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල දේශපාලනඥයින් රැසක් පස්වරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටියා.
ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට අද පස්වරුවේ විශේෂ ආරක්ෂාවක් ද යොදවා තිබුණු අතර, පරිශ්‍රයෙන් පිටත විශාල පිරිසක් එක්ව සිටියා.
ඒ අනුව, පෙත්සම් විභාගයේ තීන්දුව ලබාදීම සඳහා සත් පුද්ගල විනිසුරු මඩුල්ල 502 අධිකරණ ශාලාව වෙත පැමිණ අසුන් ගත්තේ පස්වරු 4 යි 53 ටයි.
අගවිනිසුරුවරයාට අමතරව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ, බුවනෙක අලුවිහාරේ සහ මුර්දු ප්‍රනාන්දු විනිසුරුවරිය විනිසුරු මඩුල්ලට ඇතුළත් වුණා.
සත් පුද්ගල විනිසුරු මඩුල්ලේ තීන්දුව ප්‍රකාශයට පත් කළේ අගවිනිසුරු නලින් පෙරේරා විසින්.
එහිදී අගවිනිසුරුවරයා සඳහන් කළේ ව්‍යවස්ථාවේ 12 – 01 වගන්තියේ සඳහන් සෑම පුරවැසියෙකුටම එකහා සමානව සැලකිය යුතුය යන පෙත්සම්කාර පාර්ශවය ගෙන හැර දැක්වූ මූලික අයිතිවාසිකම ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය මගින් උල්ලංඝනය වී ඇති බවයි.
එබැවින් එම ගැසට් නිවේදනය ව්‍යවස්ථාවට අනුකූළ නොවන බව ප්‍රකාශ කළ සත්පුද්ගල විනිසුරු මඩුල්ල අදාළ ගැසට් නිවේදනය බල රහිත කරන බව කියා සිටියා.
එමගින් කැඳවූ පාර්ලිමේන්තු මැතිවරණය ද තවදුරටත් බල නොපැවැත්වෙන බවයි විනිසුරු මඩුල්ල සිය තීන්දුවෙන් ප්‍රකාශ කළේ.
අනතුරුව, තීන්දුවේ සියලු කරුණු වලට තමන් එකඟ බව ප්‍රකාශ කරමින් විනිසුරු සිසිර ද ආබෲ කියා සිටියේ ඉහත කරුණු වලට අමතරව, තමන් පෞද්ගලිකව තවත් කරුණු මෙම තීන්දුවට ඇතුළත් කරන බවයි.
ඒ අනුව, ඔහු සඳහන් කළේ ව්‍යවස්ථාවේ 71 වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට සිය කැමැත්ත අනුව, පාර්ලිමේන්තුව රැස්වූ දින සිට වසර හතරහමාරක් ගත වනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවයි.
එලෙස වසර හතරහමාරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම්, ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක මන්ත්‍රීවරුන්ගේ යෝජනා සම්මතයකින් ජනාධිපතිවරයාට ඉල්ලීමක් සිදුකළ යුතු බව සිසිර ද ආබෲ විනිසුරුවරයා කියා සිටියා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කළේ පසුගිය නොවැම්බර් මස 9 වනදායි.
ඒ හරහා සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට නොවැම්බර් 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 ක් ගොනු කෙරුණා.
ඒ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලි සන්ධානය සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වන රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව විසින්.
මේ සඳහා මැදිහත්වීමට අවසර ඉල්ලා අතරමැදි පාර්ශවකරුවන් දස දෙනෙකු ද පෙත්සම් ගොනුකර තිබුණා.
එම පෙත්සම් නොවැම්බර් 12, 13 යන දෙදින සලකා බැලූණු අතර, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගයට ගැනීමටයි තීරණය වුණේ.
ඒ අනුව, පෙත්සම් විභාග කිරීම, දෙසැම්බර් 4,5,6, සහ 7 යන දිනයන්හිදී සිදුකෙරුණා.
එහි අවසන් දින ශ්‍රේෂ්ඨාධිකරණයට නියෝග කළේ පාර්ලිමේන්තුව විසුරුවීම අත්හිටුවමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගයේ තීන්දුව ලබාදෙන තෙක් දීර්ඝ කරන බවයි.