Gossips

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව වන පෙත්සම් නිෂ්ප්‍රභා කරන්න – නීතිපති

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව වන පෙත්සම් නිෂ්ප්‍රභා කරන ලෙස නීතිපතිවරයා අද (05) අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් පාර්ශව 13ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් විභාගයේදී කරුණු දක්වමින් නීතිපතිවරයා මෙම ඉල්ලීම සිදුකලා.
මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති ගත් තීරණයට එරෙහිව වන පෙත්සම් විභාග කිරීමේ බලයක් අධිකරණයට නොමැති බවයි නීතිපති වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
පවතින ගැටළුවට විසඳුම් ඇත්තේ ව්‍යවස්ථාදායකය හරහා බවත් නීතිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.
එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පාර්ශව 13ක් මෙම පෙත්සම් ගොනු කර තිබුණා.
මීට පෙර පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අනිද්දා දක්වා අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබුණා.