Gossips

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහි පෙත්සම් විභාගය අදට අවසන්

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් පාර්ශව 13ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් විභාගය අදට අවසන් කෙරුණා.
ඒ අනුව එය හෙට දිනය දක්වා කල් තැබීමටයි විනිසුරු මඩුල්ල තීරණය කළේ.
අද පෙරවරු 10 ට පමණ මෙම පෙත්සම් විභාගයට ගැනීම ආරම්භ වුණේ අගවිනිසුරු ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.
එය ලබන 6 වන දා දක්වා සිදුකෙරෙනු ඇති. අද දිනයේ මූලික වශයෙන් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වීම් සිදුකරනු ලැබුවා.
ඊට එරෙහිව ඉදිරිපත් වූ අතරමැදි පෙත්සම් වෙනුවෙන් කරුණු දැක්වීම හෙට දිනයේ සිදුකිරීමට නියමිත අතර, නීතිපතිවරයාගේ කරුණු දැක්වීමද සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.
එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පාර්ශව 13ක් මෙම පෙත්සම් ගොනු කර තිබුණා.
මීට පෙර පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ලබන 7 වන දා දක්වා අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබුණා.
පෙත්සම් විභාගය පැවැත්වෙන අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය අවට සාමාන්‍ය පරිදි ආරක්ෂාව යොදවා තිබූ අතර, පක්ෂ, විපක්ෂ දේශපාලනඥයින් රැසක්ද ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයට පැමිණ සිටියා.