Gossips

පාර්ලිමේන්තුව ලබන 23 වනදා දක්වා කල් තබයි

නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරිසිරිගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු එකට ආරම්භ වූ පාර්ලිමේන්තු සභා වාරය මිනිත්තු 5 කට සීමාවුණා.
සභා වාරය ආරම්භයේදී පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යෑම සඳහා තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවට ආණ්ඩු පක්ෂය වෙනුවෙන් සභා නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යෝජනා කළා.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ පාර්ලිමේන්තුව තුළ වත්මන් ආණ්ඩුව පිළිගනිමින් තේරීම් කාරක සභාවේ වැඩි නියෝජනයක් ආණ්ඩුවේ පාර්ශවයට ලබාදිය යුතු බවයි.
එම යෝජනාවට පක්ෂව ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය එස්.බී. දිසානායකද අදහස් පළ කළා.
ඔහු ද කියා සිටියේ ආණ්ඩුව පිළිගනිමින් අදාළ තේරිම් කාරක සභාව පත් කිරීමට කටයුතු කළ යුතු බවයි.
කෙසේ වෙතත් එම අවස්ථාවේ නැගී සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ බහුතරය පිළිබඳ ගැටළුවක් පවතින අවස්ථාවක තේරීම් කාරක සභාවේ බහුතර නියෝජනයක් ඉල්ලා සිටීම සාධාරණ නොවන බවයි.
මෙම කරුණු පිළිබඳව සාකච්ඡා වීමෙන් අනතුරුව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ලබන 23 වන සිකුරාදා පෙරවරු 10.30 දක්වා පාර්ලිමේන්තු සභා වාරය කල් තැබීමට තීරණය කරනු ලැබුවා.
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා.
ඒ, පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට අනුව කතානායකවරයා පාර්ලිමේන්තුව රැස් කිරීමට එරෙහිවයි.
මෙහි වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.