Gossips

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලෙස නම්කරයි – නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තුන් දෙනෙකු ආණ්ඩු පක්ෂයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 3 දෙනෙකු අද ආණ්ඩු පක්ෂයේ අසුන් ගනු ලැබුවා.
පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී සභා ගර්භය හරහා ගොස් මෙලෙස ආණ්ඩු පක්ෂයේ අසුන් ගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත් විජයමුණි සොයිසා, ඉන්දික බණ්ඩාරනායක සහ ලක්ෂ්මන් සෙනෙවිරත්නයි.
මේ වන විට ඔවුන් තුන්දෙනා ඉදිරි පෙළ අසුනක අසුන් ගෙන සිටින බවයි හිරු පාර්ලිමේන්තු වාර්තාකරු කියා සිටියේ.
කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1ට පාර්ලිමේන්තුව රැස්වූ අතර, සභානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පිළිගන්නා බව කථානායකවරයා නිවේදනය කළා.
විපක්ෂයේ වැඩිම මන්ත්‍රී ආසන හිමි පක්ෂය වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා ලෙස පත් කර ඇති බවයි කථානායකවරයා කියා සිටියේ.
කෙසේ වෙතත්, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල විරෝධතාවක් මතු කරමින් කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඇති බැවින් ඔහුට විපක්ෂ නායක ධුරය දැරිය නොහැකි බවයි.
මේ වන විට ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අදහස් දක්වමින් සිටිනවා.