Gossips

පාර්ලිමේන්තුවේ ආසන ගැටලුවක්

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන හිටපු රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 9 දෙනෙකු සහ නියෝජ්‍ය කතානායකවරයාට පාර්ලිමේන්තු සභා ගර්භයේ ආසන පැනවීම සම්බන්ධයෙන් තවදුරටත් ගැටලූ සහගත තත්ත්වයක් පවතිනවා.
කෙසේ වෙතත්, ආණ්ඩුවෙන් ඉවත් වූ කැබිනට් අමාත්‍යවරුන් 6 දෙනා විෂය පථයන් සඳහා පත් කරන ලද නව අමාත්‍යවරුන් මේ වනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති හෙයින් ඔවුන්ට අසුන් පැනවීම සම්බන්ධයෙන් ගැටලූවක් මතු නොවන බවයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල කියා සිටියේ.
අද සිදුවූ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර දිවුරුම්දීමෙන් පසු රජයේ පාර්ශවයෙන් මෙම ගැටලූකාරි තත්ත්වය විසඳා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළා.
එමෙන්ම කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතයි.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන මෙම පක්ෂ නායක රැස්වීමේදී ලබන 8 වනදායින් ආරම්භ වන නව සැසිවාරය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීමටයි නියමිතව ඇත්තේ. නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල සඳහන් කළේ නව පාර්ලිමේන්තු සැසිවාරයේ ඉදිරි කටයුතු සිදුකෙරෙන ආකාරය සහ න්‍යාය පුස්තකය සකස් කිරීම පිළිබඳ ප්‍රධාන වශයෙන් මෙහිදී අවධානය යොමුවන බවයි.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ නායකයින්ගේ හමුවක් ද හෙට පැවැත්වෙනවා.
ඒ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි.
මෙම හමුවේදී වත්මන් දේශපාලන තත්ත්වය සහ නව සැසිවාරයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.