Gossips

පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේ අර්බුදයක්

ආණ්ඩුවෙන් ඉවත් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම හේතුවෙන් අසුන් පැනවීමේ අර්බුදයක් මතුව තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ඊට පක්ෂ වූ නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 15 දෙනෙකු සහ නියෝජ්‍ය කතානායකවරයා ආණ්ඩුවෙන් ඉවත් වන බව ප්‍රකාශයට පත් කළා.
එමෙන්ම විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් බවද ඔවුන් මේ වනවිට ප්‍රකාශයට පත් කර අවසන්.
කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ අසුන් ගෙන සිටි මෙම පිරිස යලි විපක්ෂයේ අසුන් ගන්නේ නම් ඒ පිලිබඳව කතානායකවරයා නිල වශයෙන් දැනුවත් කළ යුතුයි.
එහෙත් මේ වන තුරුත් එවැන්නක් සිදුකර නොමැති බවයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.
පෙර දැනුම් දීමක් සිදු නොකරන්නේ නම් යලි පාර්ලිමේන්තුව රැස්වන දිනයේදී රතු පලස මතින් ගොස් විපක්ෂයේ අසුන් ගැනීමටද එම මන්ත්‍රීවරුන්ට අවස්ථාව පවතිනවා.
අප මේ සම්බන්ධයෙන් අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ටී. බී. ඒකනායකගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ විපක්ෂයේ අසුන් ගැනීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.