Gossips

පාපන්දු බලධාරීන් ඇමතිට උඩින්

ආසියානු පාපන්දු ව්‍යවස්ථාව සංශෝධනය සඳහා පැවති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාවද ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.
ඒ, ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ උපදෙස්ද නොසළකා හරිමින්.
28 වන ආසියානු පාපන්දු සම්මේලන වාර්ෂික මහ සභා රැස්වීම ඊයේ මලයාසියාවේ ක්වාලාලම්පූර් හිදී පැවැත්වුණා.
එහිදී ආසියානු කලාපයේ ප්‍රබල රටවල් කිහිපයක් සිය බලය වැඩි කරගැනීමේ අරමුණ ඇතිව ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා අවසර ඉල්ලා තිබුණා.
ඒ අනුව ආසියානු පාපන්දු සම්මේලන විධායක කමිටුව නියෝජනය කිරීමට එක් රටකට ලැබෙන නියෝජිතයන් සංඛ්‍යාව සම්පූර්ණ නොවන අවස්ථාවක වෙනත් රටක නියෝජිතයින් වැඩි සංඛ්‍යාවක් විධායක කමිටුවට ඇතුළත් කිරීමේ අවස්ථාව හිමිවනවා.
ඉන් ආසියානු කලාපයේ ශ්‍රී ලංකාව වැනි රටවලට හිමිවන මූල්‍ය ප්‍රතිපාදන අඩුවීමේ අවදානමක්ද පවතින බවයි පාපන්දු විචාරකයින් පෙන්වා දෙන්නේ.
එහෙත් ක්‍රීඩා අමාත්‍යවරයාද අභිබවා යමින් මෙරට පාපන්දු බලධාරීන් සිදුකර ඇත්තේ අදාළ ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිත කිරීමයි.
ඒ අනුව ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡුන්දයෙන් සම්මත වී තිබෙනවා. මෙහිදී මතුවන ගැටළුව වන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාගේද උපදෙස් නොසළකා හරිමින් ශ්‍රී ලංකා පාපන්දු සභාපතිවරයා තම හිතුමනාපයට කටයුතු කළේ ඇයිද යන්නයි.
නිලධාරීන්ට අවශ්‍ය පරිදි නටන්නට ඉඩ හැර මුණිවත රකිනවාද, නැතහොත් මෙරට ක්‍රීඩා අමාත්‍ය තනතුරේ ගෞරවය ආරක්ෂා කරගන්නවාද යන්න තීරණය කිරීම ඔබ සතු වගකීමක් බවයි අප ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයාට දැනුම් දෙන්නේ.