පානීය ජල බෝතල් අලෙවිය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පසුගිය සිකුරාදා සිට ක්රියාත්මක වන පරිදි නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයට අනුව මිලිලීටර් 350ත්, 499ත් අතර පානීය ජල බෝතලයක් උපරිම සිල්ලර මිල විය යුත්තේ රුපියල් 26ක්.
මිලිලීටර් 500ත්, 749ත් අතර ජල බෝතලයක් රුපියල් 35කටත්, මිලිලීටර් 750ත්, 999ත් අතර පානීය ජල බෝතලයක් රුපියල් 40කටත් අලෙවි කළ යුතුයි.
එමෙන්ම ලීටරයත්, ලීටර් 1යි මිලිලීටර් 499ක පානීය ජල බෝතලයක් අලෙවි කළ යුත්තේ රුපියල් 50කට බවයි පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
ලීටර් එකයි මිලිලීටර් 500ත්, ලීටර් 4යි මිලිලීටර් 999ත් අතර ජල බෝතලයක් අලෙවි කළ යුත්තේ රුපියල් 70ක උපරිම සිල්ලර මිලකටයි.
එමෙන්ම ලීටර් 5ත්, ලීටර් 6යි මිලිලීටර් 999ක ජල බෝතලයක් රුපියල් 150කටත්, ලීටර් 7ක ජල බෝතලයක් රුපියල් 170කටත් අලෙවි කළ යුතු වනවා.