Gossips

පාන් මිල රුපියල් 5 කින් පහත දැමීමට තීරණයක්

පාන් ගෙඩියක මිල ඉදිරි දින කිහිපය තුලදී රුපියල් 5 කින් පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති එන් කේ ජයවර්ධන සඳහන් කළේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සමග පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බවයි.
බේකරි හිමියන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයා සහ අමාත්‍යංශ නිලධාරීන් සමග අද සාකච්ඡාවක් සිදුකළ අතර එය ඉතා සුබවාදී බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා කියාසිටියා.
තිරිගු පිටි සමාගම් සමග සාකච්ඡා කර පෙර පැවති මිලට ලබාදීමට පියවර ගන්නා බවට අමාත්‍යවරයා පොරොන්දුවු බව ද ඔහු සඳහන් කළා.
ඒ අනුව තිරිගු පිටි පෙර පැවති මිලටම බේකරි හිමියන්ට ලැබුනු වහාම පාන් මිල රුපියල් 5 කින් අඩුකරන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කියාසිටියේ.
මේ අතර කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේ පසුගිය දා රුපියල් 5 කින් වැඩි කරන ලද පාන් පිටි මිල යළිත් පෙර පැවති මිලටම අලෙවි කිරීමට කටයුතු කරන ලෙස, පාන් පිටි ආනයනය කරන ප්‍රධාන සමාගම් දෙකට ලිඛිතව දන්වා යැවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය මේවන විටත් පියවර ගෙන ඇති බවයි.
ඒ අනුව පාන් පිටි මිල අඩු කිරීමට පියවර ගන්නා බවත්, එසේ අඩු කළහොත් පාන් ගෙඩියේ මිලද රුපියල් 5 කින් අඩු කරන ලෙස සහ අනක් බේකරි නිෂ්පාදන පෙර පැවති මිලටම අලෙවි කර ජනතාවට සහනයක් සලසන ලෙසත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඉල්ලා තිබෙනවා.
එමෙන්ම පාරිභෝගික කටයුතු අධිකාරියේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට එරෙහිව අදාළ නිශ්පාදකයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නොපමාව ඉදිරියේදී කටයුතු කරන බව ද අධිකාරිය සඳහන් කළා.