පාතාල නායකයෙකුගේ නියෝගයක් මත හංවැල්ල – ඇඹුල්ගම මංසන්ධියේ කඩසාප්පු වසා දැමීමට කටයුතු කළ පාතාල සාමාජිකයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉකුත් 28 වනදා පාතාල නායක මාඹුලගේ හෙවත් ඌරුජුවාගේ ගෝලයෙකු ජල්තර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී ඝාතනයට ලක්ව තිබුණා.
ඔහුගේ අවසන් කටයුතු ඊයේ (02) දිනයේදී සිදුකිරීම හේතුවෙන් මෙලෙස කඩසාප්පු වසා දමන ලෙසට අදාළ පාතාල නායකයා දැනුම්දී තිබූ බවයි වාර්තාවන්නේ.
ඒ අනුව ප්‍රදේශයේ සියලූම කඩසාප්පු ඔහුගේ නියෝගය මත වසා දමා තිබුණා.
කෙසේ වෙතත්, පැය කිහිපයකට පසු එම ප්‍රදේශයට පැමිණි පොලිස් විශේෂ කාර්ය බලකාය සියලූම කඩ සාප්පු විවෘත කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පාතාල සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන හංවැල්ල පොලීසියට භාර දෙනු ලැබුවා.
ඔවුන් ජල්තර සහ හංවැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
පාතාල නායක ඌරුජුවා නැමැත්තා පසුගිය කාලයේදී කළුතර ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ සමයං නැමැති පාතාල නායකයාගේ ප්‍රධාන ගෝලයෙකු බව ද සඳහන්.