Gossips

පාතාල සාමාජිකයන් සතු ගිනි අවි ගැන විශේෂ හෙළිදරව්වක්

පාතාල සාමාජිකයින් අතර සිදුවන වෙඩි තැබීම් සඳහා තෝරා ගත් ගිනි අවි කිහිපයක් පමණක් යොදා ගන්නා බවත්, ඒවා ඔවුන් අතර හුවමාරු වන බවත්, මේ වන විට ලැබී ඇති තොරතුරුවලින් අනාවරණ වනවා.
පොලිස් විශේෂ කාර්ය බලකාය මේ වන විටත් එම ගිනි අවි සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවටයි වාර්තා වන්නේ.
ඊයේ රාත්‍රියේ සහ අද උදෑසන වෙඩි තැබීමේ සිද්ධීන් දෙකක් වාර්තා වුණා.
රත්මලාන – චක්කින්දාරාම පාරේ අද උදෑසන වෙඩි තැබීමක් සිදුවූයේ යුද හමුදා කෝප්‍රල්වරයෙක් ඉලක්ක කර ගනිමින්.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබුණා.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ටී – 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
වෙඩි ප්‍රහාරයෙන් යුද හමුදා කෝප්‍රල්වරයාගේ එක් අතකට තුවාල සිදුව තිබෙනවා.
එමෙන්ම, ඊයේ රාත්‍රියේ කොළඹ – ජම්පටාවීදිය – 137 වත්ත ප්‍රදේශයේදී ද වෙඩි තැබීමක් සිදුව ඇති අතර, එහිදී ද 50 හැවිරිදි වෙළදසැල් හිමියෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
මේ අතර, පොලිස් වෙඩි පහරින් මාතර දී සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අද ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඉන් අනතුරුව එම කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි.
මාතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධියේ දී පොලිස් වෙඩි පහරින් තුවාල ලැබූ කොස්ගොඩ තාරක නැමැත්තාගේ සහෝදරයා වන මදූක නිර්මාල් පෙරේරා, අද අගුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබුවා.
සිද්ධියෙන් තුවාල ලැබූ තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ දිනයේ එම බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබෙනවා.