Gossips

පාතාල කල්ලි අතර ගැටුම් උඩුදුවයි – මාස 3ට පුද්ගලයින් 8 දෙනෙකු මරුට

වසරේ මේ දක්වා කාලය තුළ පාතාල කල්ලි සාමාජිකයන් අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඊයේ (19) දිනයේදී පමණක් අතුරුගිරියේ සහ ආමර් වීදියේ සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයනින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, එම වෙඩි තැබීම් ද පාතාල කල්ලි සාමාජිකයන්ගේ අතරවීම විශේෂත්වයක්.
අතුරුගිරිය – ගල්වරුසාව පාර ප්‍රදේශයේදී ඊයේ (19) සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූයේ එම ප්‍රදේශයේම පදිංචි 44 හැවිරිදි තලගලගේ නිමල්සිරි පෙරේරා හෙවත් පොඩි සුදූ නැමැත්තෙක්.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබුණා.
මිය ගිය පුද්ගලයා කෙසෙල්වත්ත – අබ්දුල් හමීඩ් වීදිය ප්‍රදේශයේ තිබී හිස කොටස හමුවූ පාතාල සාමාජික කොස් මල්ලීගේ සමීපතමයෙකු බවට අනාවරණ වී තිබෙනවා.
ඊයේ සිදුවූ මෙම වෙඩි තැබීම පිටුපස මාකඳුරේ මධූෂ්ගේ ගෝලයින් සිටින බවටයි දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.
කෙසේ වෙතත්, මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් 4ක් පත් කර තිබෙනවා.
මේ අතර, ආමර් වීදියේ දී ඊයේ සිදුවූ වෙඩි තැබීම ද පාතාල කල්ලි සාමාජිකයන් අතර ගැටුමක ප්‍රතිඵලයක් බවයි පොලීසිය සඳහන් කළේ.
මත්ද්‍රව්‍ය චෝදනාවකට වසර 11ක් සිරගතව සිටි දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ඉනසමුත්තු ඇන්ටනි රාජ් නමැති 42 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.
ඔහු තම බිරිඳ සමඟ මෝටර් රථයකින් යමින් සිටියදී ඊයේ මෙලෙස වෙඩි ප්‍රහාරයකට ලක්වූ අතර එහිදී තුවාල ලැබූ ඔහුගේ බිරිඳ ද ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබූ අතර, එය CCTV කැමරාවල ද සටහන් වී තිබෙනවා.
එමෙන්ම කොළඹ 12 – කෙසෙල්වත්ත – අබ්දුල් හමීඩ් වීදිය ප්‍රදේශයේ තිබී හිස කොටස හමුවූ පාතාල සාමාජික කොස් මල්ලීගේ කඳ කොටස ඊයේ අඟුණකොළපැලැස්ස – මුරවැඩිහේන – ගෝඨාභයගම ප්‍රදේශයේ වෙල් යායක වළ දමා තිබියදී ගොඩගනු ලැබුවා.
කෙසෙල්වත්ත අබ්දුල් හමීඩ් වීදිය ප්‍රදේශයේ තිබී ශාන්ත කුමාර හෙවත් කොස් මල්ලී නැමති පාතාල කල්ලි සාමාජිකයාගේ හිස සොයාගනු ලැබුවේ පසුගිය 07 වනදා උදෑසනයි.
මීට දින කිහිපයකට පෙර පාතාල කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ් ගේ සමීපතමයෙකු වන මොහොමඩ් රිස්ඛාන් නැමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙසයි කොස් මල්ලීගේ ඝාතනය සිදුව ඇත්තේ.
ඝාතනය ලක්වූ කොස් මල්ලි, අරුණ දමිත් උදයංග හෙවත් සමයංගේ සමීපතම ගෝලයෙකු ද වනවා.
වසරේ ගතවූ මාස 03 තුළ කොළඹ – ග්‍රෑන්ඩ්පාස්, බත්තරමුල්ල – තලංගම, බොරැල්ල, වත්තල, ගම්පහ සහ හම්බන්තොට – මිරිජ්ජවිල යන ප්‍රදේශවල සිදුවූ ඝාතනවලින් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ දැනට විදෙස්ගතව සිටින බවට සැක කෙරෙන පාතාල කල්ලි සාමාජික මාකඳුරේ මධුෂ්ගේ සහ ඝාතනයට ලක්වූ අරුණ දමිත් උදයංග හෙවත් සමයංගේ ගෝලයින් අතර සිදුවන ගැටුම්වල ප්‍රතිඵල ලෙස මෙම ඝාතන සිදුවන බවයි.
මේ අතර, පසුගිය දා මාතර – වැලිගමදී අත්අඩංගුවට ගත් පාතාල කල්ලි සාමාජික මාකඳුරේ මධුෂ්ගේ ගෝලයින් දෙදෙනා රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.
ඔවුන් පසුගිය දා ගිනි අවිත් සමඟ අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මතයි.