කැබිනට් මණ්ඩලය විසුරුවා හැර ඇති මොහොතක මහානගර සහ බස්නාහිර සංවර්ධන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අද දහවල් එම අමාත්‍යාංශයට පැමිණ රාජකාරී කටයුතුවල නිරත වුණා.
බත්තරමුල්ල – සුහුරුපායේ පිහිටි එම අමාත්‍යාංශයට පැමිණි හිටපු අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ අමාත්‍යාංශ නිලධාරීන් හමුවී සාකච්ඡාවක් පැවැත්වූ බවයි.
කුමන තත්ත්වයක් යටතේ වුවද අමාත්‍යාංශ සහ අනෙකුත් අනුබද්ධ ආයතන විසින් ක්‍රියාත්මක කරන සියළුම සංවර්ධන ව්‍යාපෘති අඛණ්ඩව සිදුකරන ලෙස එහිදී උපදෙස් ලබාදුන් බව ද එමගින් දක්වා තිබෙනවා.
එමෙන්ම ප්‍රාථමික කර්මාන්ත හිටපු අමාත්‍ය දයා ගමගේ ද අද දිනයේ එම අමාත්‍යාංශයට ගොස් කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡාවක නිරත වුණා.
නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දිවුරුම් දීමෙන් අනතුරුව නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මේ වන විට දිවුරුම් දී ඇති නමුත්, මහනගර සහ බස්නාහිර සංවර්ධන සහ ප්‍රාථමික කර්මාන්ත යන අමාත්‍යාංශවලට මෙතෙක් අමාත්‍යවරු පත් කර නැහැ.
මේ අතර, හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට වත්මන් රජයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා දුනහොත් එම අවස්ථාවේ සිට පෙර දැනුම්දීමකින් තොරව වර්ජනයක් දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එමෙන්ම නාවලපිටිය මූලික රෝහලේ වෛද්‍යවරුන් අද දහවල් කෑම පැයේ විරෝධතාවක නිරත වුණා.
රෝහල ඉදිරිපිට පැවති මෙම විරෝධතාවයේදී ඔවුන් ඉල්ලා සිටියේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වත්මන් රජයට සම්බන්ධ වන්නේ නම් ඔහුට සෞඛ්‍ය අමාත්‍ය ධුරය ලබා නොදෙන ලෙසයි.
මීට අමතරව ගාල්ල, මාතර සහ අම්පාර යන දිස්ත්‍රික්කවල ද හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට විරෝධය පළ කරමින් උද්ඝෝෂණ සංවිධාන කර තිබුණා.
මේ අතර, සෞඛ්‍ය අමාත්‍ය ධුරයට යළි රාජිත සේනාරත්න පත් කිරීමට සූදානමක් ඇති බවට පැතිර යන ප්‍රචාර සම්බන්ධයෙන් ඇඹිලිපිටියේදී මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසාගෙන් කරුණු විමසා සිටියා.
එමෙන්ම ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට රජයේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය හෝ වෙනත් අමාත්‍ය ධුරයක් ලබාදෙන්නේ නම්, ඊට බලවත් විරෝධය පළ කරන බවයි.
එමෙන්ම ඔහු කැබිනට් මණ්ඩලය තුළ නොසිටිය යුතු බව බහුතර ජනතා මතය වී ඇති බව ද එහි දැක්වුණා.