Gossips

පාකිස්ථානය, විදේශීය රාජ්‍ය නොවන සංවිධාන නෙරපයි

විදේශීය රාජ්‍ය නොවන සංවිධානවලට ඔවුන්ගේ මෙහෙයුම් නතර කොට දින 60 ක් තුළ නික්මෙන ලෙස පාකිස්ථාන රජය දැනුම්දී තිබෙනවා.
ඒ අනුව, සහන සංවිධාන 18 ක් පාකිස්ථානයෙන් නෙරපා ඇති බවයි එවැනි එක් සංවිධානයක් වන ඇක්ෂන් ඒඞ් ප්‍රකාශ කළේ.
එමෙන්ම, මෑතක සිට පාකිස්ථාන රජය සිවිල් සමාජයට ප්‍රහාරයක් එල්ල කරමින් සිටින බවට එමගින් චෝදනා කළා. කෙසේ නමුත්, මාස 6 කට පසු නැවත ඒ සදහා අයදුම්කරන බව ඇක්ෂන් ඒඞ් කියා සිටියා.
පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් අදහස් දක්වා නැහැ.
අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පාකිස්ථාන රජය මානව හිමිකම් ක්‍රියාකාරීන්ට එරෙහිව කටයුතු කරන බවටත් මාධ්‍ය නිදහස අසුරණ බවටත් චෝදනා එල්ල වන අතරතුරයි මෙම නව පියවර ප්‍රකාශයට පත්වී ඇත්තේ.
එමෙන්ම, විදේශීය රාජ්‍ය නොවන සංවිධාන කෙරෙහි පාකිස්ථානයේ සැකය යොමුවූයේ ඉම්රාන් ඛාන් රජය බලයට පැමිණීමට පෙර සිටයි.
ඔසාමා බින්ලාඩන් සොයා ගැනීම සදහා ඇමරිකානු සී.අයි.ඒ ඔත්තු සේවය රාජ්‍ය නොවන සංවිධානයක් හරහා ව්‍යාජ එන්නත් වැඩසටහනක් ක්‍රියාත්මක කළ බවට ද චෝදනා එල්ල වනවා.
කෙසේ නමුත්, ඒ සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සේව් ද චිල්රන් ආයතනය ප්‍රතික්ෂේප කළා.
පාකිස්ථානය නෙරපා ඇති තවත් විදේශීය රාජ්‍ය නොවන සංවිධානයක් වන ප්ලෑන් ඉන්ටර්නැෂනල් සදහන් කළේ මිලියන 1 යි දශම 6 ක පාකිස්ථාන ළමයින් වෙනුවෙන් සේවය සලසන තමන් පාකිස්ථාන රජයේ තීරණයෙන් කම්පාවට පත්වූ බවයි.