Gossips

පාකිස්ථානය ඉන්දීය ජෙට් යානා දෙකක් බිම හෙළයි – නියමුවන් දෙදෙනෙකුත් අත්අඩංගුවේ

ඉන්දියාව ඊයේ එල්ල කළ ගුවන් ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා දෙකක් පාකිස්ථානය විසින් අද වෙඩි තබා බිම හෙලනු ලැබුවා.
එසේම ඉන්දීය ගුවන් නියමුවන් දෙදෙනෙකුද පාකිස්ථාන ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත්තා.
මේ අතර ලක් රජය අද පාකිස්ථානය සහ ඉන්දියාවෙන් ඉල්ලීමක් කළේ සමස්ත කලාපයේම ආරක්ෂාව සහ ස්ථාවර භාවය තහවුරු වන අයුරින් කටයුතු කරන ලෙසයි.
උද්ගත වූ මෙම තත්ත්වය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබූ අතර, එහි දැක්වුණේ ඉන්දීය හමුදා සාමාජිකයින් පිරිසකට පසුගියදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සහ ඉන් අනතුරුව හටගත් සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි කණස්සල්ලට පත්වන බවයි.
කෙසේ වෙතත් මෙම අවස්ථාවේ සමස්ත කලාපයේම ආරක්ෂාව, සාමය සහ ස්ථාවර බව තහවුරු කරන ලෙස දෙරටෙන්ම ඉල්ලා සිටින බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
දේශසීමා මුල්කරගත් ඉන්දු – පාකිස්ථාන අර්බුදය තීවෘර කරමින් තම ගුවන් සීමාවට ඇතුලූවූ ඉන්දීය ප්‍රහාරක ජෙට් යානා දෙකක් බිම හෙලීමට පාකිස්ථානය අද පියවර ගත්තා.
පාකිස්ථාන හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් අසීෆ් ගෆූර් ප්‍රකාශ කළේ ජෙට් යානා දෙකෙහි නියමුවන් දෙදෙනාද එහිදී අත්අඩංගුවට ගත් බවයි.
එලෙස අත්අඩංගුවට ගනු ලැබූ නියමුවන්ගේ ඡායාරූපද පාකිස්ථානය විසින් අද පස්වරුවේ මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.
මෙම යානා අද ඉන්දු පාකිස්ථාන දේශසීමාවේ කාශ්මීරයේ පාකිස්ථාන පාලන ප්‍රදේශ වෙත දෙවන දිනටත් ඇතුලූවුණේ ත්‍රස්ත කඳවුරු වෙත ප්‍රහාර එල්ල කිරීමටයි.
එහිදී පාකිස්ථාන ගුවන් හමුදාව ඉන්දීය ජෙට් යානා වෙත ප්‍රතිප්‍රහාර එල්ල කළා.
පාකිස්ථාන හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ එහිදී එක් ඉන්දීය ප්‍රහාරක යානාවක් කාශ්මීරයේ පාකිස්ථාන පාලන ප්‍රදේශයටත්, අනෙක් යානාව ඉන්දීය පාලන ප්‍රදේශයටත් කඩාවැටුණු බවයි.
කෙසේ වෙතත් කාර්මික දෝෂයක් හේතුවෙන් තම යානයක් කඩාවැටුණු බවත්, එක් නියමුවෙකු අතුරුදන්ව ඇති බවත්, ඉන්දියාව ප්‍රකාශ කළා.
මේ අතර ඉන්දීය ප්‍රතිප්‍රහාර හමුවේ පාකිස්ථාන ජෙට් යානයක් බිම හෙලූ බවට ඉන්දියාව ප්‍රකාශ කළද පාකිස්ථානය එය ප්‍රතික්ෂේප කරනවා.
පසුගිය 14 වනදා කාශ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශයේදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය හමුදා සාමාජිකයින් 40 දෙනෙකු මියයාමත් සමඟයි ඉන්දු – පාකිස්ථාන අර්බුදය උත්සන්න වුණේ.
ඊයේ දිනයේදී ඉන්දියාව, පාකිස්ථාන ගුවන් කලාපයට ඇතුලූවී එරට ක්‍රියාත්මක ජයිෂ් ඊ මොහොමඩ් ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාර ඉල්ල කළේ ඊට ප්‍රතිචාර දැක්වීම සඳහායි.
අදාළ ප්‍රහාරය ත්‍රස්තවාදය මුළිනුපුටා දැමීම සඳහා සිදුකළ ප්‍රහාරයක් බවට ඉන්දියාව, පාකිස්ථානයේ සමීප මිතුරෙකු වන චීනය වෙත දැනුම්දීමක්ද සිදුකර තිබෙනවා.
අද ඉන්දීය ජෙට් යානා වෙඩි තබා බිම හෙලීමෙන් පසු පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළේ ඉන්දියාව ඒකපාර්ශවික ක්‍රියාමාර්ගයක් ගනු ලැබීම හේතුවෙන් ඊට ප්‍රතිචාර දැක්වීමට පාකිස්ථානයට සිදුවූ බවයි.
ඉන්දියාව මෙහිදී විනිශ්චයකරු මෙන්ම වධකයා බවට පත්වූ බවට පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා චෝදනා කළා.
මේ අතර පාකිස්ථාන සිවිල් ගුවන් සේවා අධිකාරිය සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඉන්දීය ප්‍රහාරක ගුවන් යානා මෙම ගුවන් කලාපය තුළින් පියාසර කිරීම ඊට හේතුවයි.
ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම අද පස්වරුවේ නිවේදනය කළේ හෙට දිනයේ කරච්චි සහ ලාහෝර් දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් අවලංගු කළ බවයි.