Gossips

පාකිස්ථානය ඉදිරියේ ඕස්ට්‍රේලියාවට දරුණු පරාජයක්

ඕස්ට්‍රේලියාව සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟය අවසන්වීමට තවත් එක් දිනක් ඉතිරිව තිබියදී ජය ගන්නට පාකිස්ථාන කණ්ඩායම අද සමත් වුණා.
ප්‍රබල ඕස්ට්‍රේලියානුවන්ට වසර 03කට පසු අමතක නොවන පරාජයක් අත්කර දෙමින් පාකිස්ථානය මෙම තරඟය ජය ගත්තේ ලකුණු 373කින්.
තරඟයේ කාසිය වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහර සීමට තීරණය කළ අතර ඒ අනුව ඔවුන් සිය පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකණු 282ක් රැස් කිරීමට සමත් වුණා.
එහිදී සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ ෆකාර් සමාන් ලකුණු 94ක් රැස් කළ අතර නායක සෆ්රාස් අහමඩ් ද ලකුණු 94ක් රැස් කරමින් පාකිස්ථාන ඉනිම ගොඩනැඟුවා.
පන්දු යැවීමේදී නේතන් ලයන් පාකිස්ථාන කඩුලු 04ක් බිඳ දැමූ අතර වේග පන්දු යවන ක්‍රීඩක මිචල් ස්ටාක් කඩුලු 02ක් බිඳ දැමුවා.
සිය පිළිතුරු ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියාවට පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 145ක් පමණයි.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ආරොන් ෆින්ච් සහ මිචල් ස්ටාක් පිළිවෙලින් ලකුණු 39ක් සහ 34 බැඟින් රැස් කළා.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ මොහොමඩ් අබ්බාස් ඕස්ට්‍රේලියානු කඩුලු 05ක් බිඳ දැමූ අතර බිලාල් අසීෆ් කඩුලු 03ක් බිඳ දැමීමට සමත් වුණා.
ඕස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 137ක වාසියක් සමඟින් සිය දෙවන ඉනිම ආරම්භ කළ පාකිස්ථානය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 09ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 400ක්.
දෙවන ඉනිම වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 99ක් රැස්කළ අතර සෆ්රාස් අහමඩ් ලකුණු 81ක් රැස් කළා.
පකිස්ථාන දෙවන ඉනිමේදී කඩුලු 04ක් දවා ගන්නට නේතන් ලයන් සමත් වූණා.
ලකුණු 538ක දැවැන්ත ඉලක්කයක් වෙනුවෙන් දෙවන ඉනිම ආරම්භ කළ ඕස්ට්‍රේලියානුවන්ට එම ඉලක්කය සපුරා ගැනීමට මොහොමඩ් අබ්බාස් ප්‍රමුඛ පකිස්ථාන පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ මොහොමඩ් අබ්බාස් ඕස්ට්‍රේලියානු දෙවන ඉනිමත් සුණු විසුණු කළේ ලකුණු 62කට කඩුලු 05ක් බිඳ දමමින්.
යශීර් ෂා කඩුලු 03ක් බිඳ දැමීමට සමත් වුණා.
ඒ අනුව ඕස්ට්‍රේලියානු දෙවන ඉනිම ලකුණු 164කට සීමා කරමින් පාකිස්ථානය මෙම තරඟය ලකුණු 373කින් ජය ගත්තා.
මෙම ජයග්‍රහණයත් සමඟ තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය තරඟ එකට බින් බිංදුවක් ලෙස ජයගන්නට පකිස්ථානය සමත් වුණා.
තරඟයේ වීරයා සහ තරඟාවලියේ වීරයා යන සම්මාන දෙකම හිමිකර ගැනීමට පාකිස්ථාන ක්‍රීඩක මොහොමඩ් අබ්බාස් සමත් වූ අතර දෙරට අතර පැවති පළමු තරඟය ජය පරාජයකින් තොරව අවසන් වුණා.